රාජ්‍ය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකිය යන නීතිය රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බල පවත්වන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (24)පැවසීය.
නීතිය කියන මකුළු දැලේ පොඩි සත්තු පැටලුණත් ලොකු සත්තු ඒක කඩාගෙන යන බවට මතයක් පැවැති බව කී කුමරප්පෙරුම මහතා අද වන විට සෑම කෙනකුටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැලවත්ත ජවිපෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේද කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ධුරය දැරූ කාලය තුළ විදේශ සංචාර 23ක් කර ඇති බවට වාර්තා වී තිබෙනවා. ඒ සංචාර අතරින් කියුබාවට සහ එක්සත් ජනපදයට ගොස් ආපසු එන අතර, එතුමාගේ භාර්යාවගේ උපාධි ප්‍රදානෝත්සවයකට රජයේ මුදල් වැයකර ලන්ඩනයට ගොස් නැවතී සිටීමක් සම්බන්ධයෙන් නඩු නිමිත්තක් තිබෙනවා. අධිකරණයට වාර්තා කර තිබෙන කරුණු අනුව ස්ටර්ලින් පවුම් 44,000කට වැඩි මුදලක් එම ගමන වෙනුවෙන් වැය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබෙන්නේ දණ්ඩනීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේයි. මේ අධිකරණ ක්‍රියාදාමය ගැන මාධ්‍ය හමුවක් පැවැත්වූ විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළා.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට නොගත යුතුව තිබූ බවයි. එතුමා ඉදිරිපත් කරන්නේ නීතිමය තර්කයක්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ, රාජ්‍යය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකියි යන පදනමෙනුයි.
ඒක රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බලපවත්වන නීතියක්. රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීමේ වගකීමක් රාජ්‍යයට තිබෙන නිසයි වාහන අනතුරකින් ලයිට් කණුවක් කඩාගෙන වැටුණත් තරාතිරම නොබලා වන්දි අය කරන්නේ.
නමුත් මෙතනදී විපක්ෂය දිගටම අධිකරණයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්කරන්නේ අධිකරණයට අපහාසයක් සිදුකරනා ආකාරයෙන්. පොදු දේපළ පනත යටතට ගැනෙන්නේ රුපියල් 25000ට වැඩි මූල්‍යමය අලාභයක් රජයට සිදුකිරීම සම්බන්ධ චෝදනා.