හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට පෞද්ගලික youtube නාලිකාවක් ඔස්සේ කල් තියා ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නැමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
සුදත්ත තිලකසිරි නැමැත්තා විසින් එම youtube නාලිකාව හරහා කළ බව කියන එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනුම් දී ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට බාර දීමට නියමිත බව වුට්ලර් මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
එහිදී අධිකරණ සංකීර්ණය අසල විශාල ජනතාවක් ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නියැලුණහ.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.