කිලිනොච්චිය, අරවියෙල් නගර් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිම්පතක් සොරාගෙන බැංකු ගිණුමකින් සහ ණය කාඩ් පතකින් රු. 138,472 ක මුදල් ලබාගත් බව කියන එම කඳවුරේම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පැමිණිලිකරු සහ සැකකරු යන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාම එකම කඳවුරේ සේවය කරනු ලබන අතර පැමිණිලිකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සිම්පත සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් සොරාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාවිසින් ඉකුත් ජූලි මස 31 වැනිදා සිට වරින් වර මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව සිදුකළ විමර්ශන වලින් පසු සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.