රජය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමඟ මේ වනවිට වී මෙට්රික් ටොන් 1238ක් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්රකාශ කළේය.
මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ පැහැදිලි කරමින් සභාපතිවරයා මෙසේ ද පැවසීය.
“වසර 2025 යල කන්නේ වී මිලදී ගැනීම බොහෝ තැන්වල දැන් ආරම්භ කරලා තිබෙනවා. මෙවර අස්වැන්න ලැබෙන්නේ විසිරුණු විදිහට. කලින්ම අම්පාරේ කපන්න පටන් ගත්තා. ගබඩා විවෘත කරලා තිබෙනවා. උතුරු පළාතෙත් පුත්තලම, මුලතිව් මේ ස්ථානවලත් ගබඩා විවෘත කරලා තිබෙන්නේ මේ වෙනකොටත් ගොවි මහතුන් වී ලබාදෙමින් පවතිනවා.
මේ වෙනකොට අපිට වාර්තා වෙලා තිබෙනවා වී මෙට්රික් ටොන් 1238ක් පමණ අපිට ලබා දීලා තිබෙනවා. අපි දිගටම වී මිලදී ගැනීම සිදු කරනවා. පරණ මිලටම ගොවි මහතුන්ට නාඩුවලට රුපියල් 120ක්, සම්බා රුපියල් 125ක්, කීරී සම්බා රුපියල් 132ක් ලෙස කිලෝ එකකට අපි ගෙවීම් කරනවා. මණ්ඩලයෙන් ගොවීන්ට හැකි ඉක්මනින් මුදල් ලබාදීමට කටයුතු කරනවා.
වී ආවොත් අපි දිගටම ගන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් මිලියන 6000ක් රජයෙන් අපිට වෙන් කරලා තිබෙනවා. වී මිලදීගන්න තව තවත් වී ලබාදෙනවා නම් අපි රජයත් එක්ක කතා කරලා මුදල් ලබා ගන්නවා.