‘පරාටේ’ නීතිය බලගැන්වීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකු සංගමයට උපදෙස් දුන් බවත් මෙරට ආර්ථිකය පිළිබඳව වගකිවයුතු ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බැංකුවලට ලිඛිත නියෝගයක් දීම බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා ඊයේ (2) පැවසීය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුළු නියෝජිතයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර ඊයේ (2) පැවැති විශේෂ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ලියනාරච්චි මහතා එසේ පැවසීය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගැනීමට නම් ‘පරාටේ’ නීතිය තව දුරටත් අත්හිටුවීම සහ ණයගැතියන්ගෙන් මුදල් අයකරගැනීමේදී දේපළ පවරාගැනීම සම්බන්ධයෙන් බැංකුවලට දී ඇති බලය අවම කරන ලෙස එහිදී ඉල්ලා සිටි බවත් කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගි වූ ආණ්ඩුවේ නියෝජිතයන් බැංකු නියේජිතයන් හමහුවේ බැගෑපත් වී ඇති බවත් ඒ මහතා කීය.
ව්‍යාපාරිකයන් මුහුණදී සිටින සිටින තත්වය තේරුම් ගෙන සාධනීය පිළිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් ලැබේ යැයි විශ්වාස කළ ද එවැනි උත්සහයක් ආණ්ඩුවේ නියෝජිතයන් වෙතින් දැකිය නොහැකි වූ බව ද කී ඒ මහතා දේපළ අත්පත්කරගැනීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස පමණක් බැංකුවලින් ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.