රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය
මෙලෙස රජයට රේගු බදු හා ලියාපදිංචි ගාස්තු අහිමි කරමින් ගෙන්වා ඇත්තේ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථ, මොන්ටේරෝ හා ප්‍රාඩෝ රථ බව පැවසූ අල්ලස් කොමිසම අදාළ වාහන ආනයනය කළ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සමග එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවද සඳහන් කළේය.
2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළේ යැයි කියන ටොයෝටා වර්ගයේ ජී.එක්ස්.9164 රථය 2002 වර්ෂයේ මුල් ලියාපදිංචිය කර ඇති බවට නීති විරෝධීව අංක තහඩුවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය මෙම කරුණු ඉදිරිපත් කළාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු තොරතුරු තාක්ෂණ සහකාර අධ්යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, ලිපිකරු ධම්මික නිරෝෂන් හා හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.
ස්වාමිනි. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කිරීමෙන් පසුව අනාවරණය වූ කරුණු කීපයක් තිබෙනවා.
එක් සුඛෝපභෝගී රථයකට අංක තහඩු නිකුත් කිරීමට සම්බන්ධව මොවුන්ව අද අධිකරණයට ඉදිරිපත් කළද ව්‍යාජ දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් වාහන 51කට හොර සහතික හදන්න මේ අය දායක වෙලා ඇති බවට සාක්ෂි අනාවරණය වෙනවා. මුල් ලියාපදිංචියක් නැති හොර රහසේ ආනයනය කළ වාහනවලට සුනිල් නිශාන්ත කරුණාතිලක නැමැති අයෙකුගේ නමට දිවුරුම් ප්‍රකාශ දීලා තිබෙනවා. නිශාන්ත කියලා එහෙම පුද්ගලයකු මිහිපිට නැහැ. තව “මල්ශාන්” නැමැති පුද්ගලයකු ගැනත් මෙම තොරතුරුවල සඳහන් වෙනවා. මේ මල්ශාන් නමැති පුද්ගලයා සැබෑ පුද්ගලයකු ද කියලා තවම විමර්ශන සිදු කරනවා.අද අධිකරණයට ඉදිරිපත් කරන රථයෙන් රුපියල් 32268620.00 පාඩුවක් රජයට වෙලා තියෙනවා.මෙහෙම වාහන එකක් නෙවෙයි වාහන 178 ආනයණය කර ඇති බවට දැනට අපට තොරතුරු තියෙනවා. හොර රහසේ ගෙනාපු වාහන වලින් රජයට රේගු බදු අහිමි වෙනවා වගේම ,මුල් ලියාපදිංචි ගාස්තුව ද අහිමිවෙලා තිබෙනවා.
මෙම වාහනය මෙරටට ආනයනය කරලා තිබෙන්නේ 2019 වසරේදී, වාහනය ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 2018 වර්ෂයේ ,නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛන අනුව මෙම වාහනය 2002 වසරේදී මුල් ලියාපදිංචි කර තිබෙනවා.
මුරපද තිබෙන්නේ සැකකරුවන් සතුව, අංක තහඩු නිකුත් කරන්නේ ඉන්ෆෝමැටික් නමැති ආයතනය මගින්,මේ වාහනයට අංක තහඩු නිකුත් කරන්න බෑ කියා කියද්දිත් එයට නියෝග නිකුත් කරන්නේ මෙම සැකකරුවන් විසින්, එම නිසා මෙම සිද්ධීන්ට මෙම සැකකරුවන්ගේ දායකත්වය තිබෙන බවට සනාථ කිරීමට තවදුරටත් විමර්ශන සිදු කළ යුතුයි. සැකකරුවන් නිදහස් කළොත් සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි යි. මෙය පුළුල් විමර්ශනයක්. එම නිසා සැකකරුවන් විමර්ශන අවසන් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.
නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සැකකරු වෙනුවෙන් නීතිඥ අනුර චන්ද්‍රසිරි සමග නීතිඥ හේමන්ත ගමගේ මහත්වරුන් අධිකරණයේ කරුණු දැක්වූහ.
නීතිඥ හේමන්ත ගමගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ වෙනත් රජ්‍ය ආයතනයකට අනුයුක්තව කටයුතු කරන තම සේවා දායකයා ප්‍රතිපත්තිමය තීරණ අනුව කටයුතු කරමින් වාහන සඳහා අංකු තහඩු නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ලියාපදිංචි කර ඇති වාහනවලට වසර ගණනක් තිස්සේ අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අභියාචනාධීකරණය හමුවේ ව්‍යාපාරිකයන් විසින් රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා,එහිදී ඇතිකරගත් ප්‍රතිපත්ති තීන්දුවලට අනුව වාහනවලට අංක තහඩු නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිඥවරයා පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය
ස්වාමීනි සැකකරුවන් දැන දැනම මෙම වැරදී සිදුකර ඇති බවය.වාහන අංක තහඩුව නිකුත් කිරීමේ ආයතනය එම තහඩු නිකුත් කළ නොහැකි බවට පවසා තිබියදී ,එවා නිකුත් කරන ලෙසට සැකකරුවන් විසින් දන්වා ඇති බවද පැවසුවාය.
වාහන අනයනය කළ ව්‍යාපාරිකයන්ද අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් විමර්ශන සිදුකෙරෙන හෙයින් හා සැකකරුවන් විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බවද සඳහන් කළාය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙ අංක 163 සමග කියවෙන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය ප්‍රකාරව වරදවල් සිදු කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළාය.