පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දීමට පැමිණි සාක්ෂිකාරියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීතිඥවරයාගේ විරෝධය හේතුවෙන් කමිටුව විසින් සාක්ෂි නොගෙන ඊයේ (18) හරවා යවනු ලැබුවාය.
සාක්ෂිකාරිය සාක්ෂි ගැනීමට පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී වීඩියෝ පටයක් පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගීවූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඉල්ලා සිටියහ.
වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්රම මහතා මේ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පරීක්ෂණ කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
මේ අනුව මෙම විරෝධතාවය අනුමත කළ කමිටුව එම වීඩියෝ පටය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට පැමිණි සාක්ෂිකාරියගෙන් සාක්ෂි නොගෙන තාවකාලිකව නිදහස් කර යැවීමට නිර්දේශ කළේය.
තවත් සාක්ෂිකරුවෝ 9 දෙනෙක් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්හ.
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදාගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙ. ව. 9.30 සිට ප.ව 4.45 දක්වා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම මෙසේ සිදුවිය.
සාක්ෂිකරුවෝ 21 දෙනෙක් කමිටුව හමුවේ පෙනී සිට මේ දක්වා සාක්ෂි දුන්හ.කමිටුව අද (19) පෙ.ව. 9.30 ට නැවතත් රැස්වීමට නියමිතය.