අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියමින් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙකු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඊයේ (23) නියම කළය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට අමතරව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේම සේවය කරන බව කියන සහකාර කළමණාකාරවරු දෙදෙනෙකී.
අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ කළ ආවේෂණ කටයුතු වලින් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (23) පස්වරුවේ කළ හදිසි වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වාහන මිලදී ගැනීමේදී ‘ලීසින්’ පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වු විට වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු අප්‍රමාදීව කරදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නිලධාරී්න් රාජකාරී කටයුතු කරගැනීම සඳහා එහි පැමිණෙන මහජනතාවගෙන් සහ මුල්‍ය ආයතන වලින් නිරන්තරයෙන් අල්ලස් ලබාගෙන පසුව ඒවා එහි සේවය කරන සිය`ථ දෙනා අතර සමසේ බෙදා ගන්නා බවට අල්ලස් කොමිසමට ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ ආවේෂණ කටයුතු කර ඇතැයි වාර්තාවේ.