විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතීය ක්රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ශ්රීලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා දැනුම් දී ඇත.
ඊශ්රායලය ඇතුළු රටවල විදේශ රැකියවලට යන ශ්රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී විදේශ රැකියා ඒජන්සියේ ඇතැම් නිලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වන සමහර ආයතන කාලයක පටන් වංචා කරන බව පෙන්වා දෙමින් ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන සමඟ පැවැති සාකච්ඡාවකදී ලාල් හෙට්ටිආරච්චි මහතා ඒ බව දැනුම් දී ඇත.
ඊශ්රායලය ඇතුළු රටවල විදේශ රැකියවලට යන ශ්රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී ලියාපදිංචි වී සිටින ගුවන් ටිකට්පත් ආයතන 25 ක් පමණ නොසළකා හරිමින් එක් ආයතනයකට පමණක් වාසී වන අන්දමින් ලංසු කැඳවා ඇත්තේ කෙසේදැයි ප්රශ්ණ කිරීම හේතූවෙන් ඒ පිළිබඳව විදේශ රැකියා ඒජන්සියේ සභාපතිවරයා, නිලධාරීන් සහ ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
ටෙන්ඩරයක් ආරම්භ කළ පසු එහි කටයුතු අවසන් වන්නේ දින 07ක කාලයකින් බව රජයේ පිළිගත් නීතීය වී තිබියදී එම නීතීයට පටහැනිව ඊශ්රායලයේ රැකියා සඳහා ශ්රමිකයින්ට 103 දෙනකුට පසුගිය 03 වැනිදා ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී විනාඩි 63ක් වැනි ඉතාම සුළු කාලයක් තුළ එක්තරා සමාගමකට එම ටෙන්ඩර් ප්රදානය කර ඇත්තේ කෙසේදැයි ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතයින් ප්රශන කර ඇත.
ටෙන්ඩර් කැඳවීමට පෙරම ගුවන් මගීන්ගේ විස්තර ගමනාන්තයන් සහ දිනයන් පිළිබඳ විස්තර එක්තරා සමාගමකට දීම හේතූවෙන් මෙම ගැටළුව උද්ගතව ඇති බවත් ඊට විදේශ රැකියා ඒජන්සියේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතාවයන් ඇති බවත් කරුණු සහිතව පෙන්වා දී ඇති ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතන් දීර්ඝ කාලයක් පුරා එකම සමාගමකින් ගුවන් ටිකට්පත් සැපයීම සඳහා ටෙන්ඩර් දීම මඟින්ම මෙය ජාවාරමක් බව පෙන්වා දී ඇත.