මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංඟසිංහ මහතා (17) නියම කළේය.
කඳානේ සමරනායක නැමැති සමාගමේ අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
2016,2017 හා 2019 වසර සඳහා නොගෙවා පැහැර හැරී බදු මුදල් ගෙවන ලෙසට පහුගිය මැයි මස 6 වෙනි දින මහේස්ත්‍රාත් අධිකරණය අධ්‍යක්ෂකවරුන්ට නියෝග කර තිබූ අතර එම නියෝගය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රිසාඩ් අමීන් මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් කියා සිටියේ වග උත්තරකරුවන් මේ වන විට සමාගමේ අධ්යක්ෂවරුන් නොවන හෙයින් අදාළ දඩය ගෙවීමට නිත්‍යානුකූලව බැඳී නොමැති බවය.
දේශිය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දැක්වීය.
වගඋත්තරකාර අධ්‍යක්ෂකවරුන් බදු නොකවා පැහැර හැරී කාලයේදී සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කර ඇති බවත්,නඩු පැවරූ පසු අදාළ සමාගමෙන් ඉවත්ව ගොස් ඇති බවත් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා (17) දින සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ වග උත්තරකරුවන් බදු ගෙවීමට බැඳී සිටින බවය. එසේ නොගවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවත් සඳහන් කළේය.
වග උත්තරකරුවන් විසින් ඊයේ පස් වරුව වනෙක් හිඟ බදු ගෙවීමට කටයුතු නොකළ හෙයින් බන්ධනාගාර අධිකාරිය මගින් වගේ උත්තරකරුවන් තිදෙනා බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.