කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද (15) උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී පැවැත්විය.
මෙවර ඉන්දීය බැතිමතුන් 3500කට වැඩි පිරිසක් කච්චතිව් මංගල්‍යයට පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.
යාපනයට කිලෝමීටර 64 ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි.
වර්ග කිලෝමිර් 1.15ක් පමණ කුඩා දූපතක් වන කච්චතිව් දූපත, ලාංකීය දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ය.
එහි අයිතිය මුල්කරගනිමින් අතීතයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන මතගැටුම් පවා නිර්මාණය වී තිබුණි.
නමුත්, 1974 දී කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ දෙරටේම ධීවරයින්ට එය භාවිත කිරීම සම්බන්ධයෙන් කොන්දේසි ද පනවමින්ය.
එවන් පසුබිමක පවා වසරකට දින 02ක් එම දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය සැමරෙන්නේ දෙරටේම ධීවරයින්ගේ සහභාගීත්වයෙනි.
ඒ අනුව මෙවර කච්චතිව් මංගල්‍ය දිව්‍ය පූජා යාගය අද පෙරවරුවේ පැවති අතර එහි ප්‍රධානත්වය ගනු ලැබුවේ ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ රදගුරු අති උතුම් ලුර්දු ආනන්දන් රදගුරුතුමා සහ යාපනය රදගුරු පදවියේ අනුනායක අතිගරු පී.ජේ. ජෙබරත්නම් පියතුමයි.
එසේම එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරල් කාංචන බානගොඩ මහතා සහ යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.
මෙවරත් කච්චතිව් මංගල්‍යයේ සියලු කටයුතු සිදුකෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙනි.