පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල් වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටී 18 හැවිරිදි කේසාන් සදරුවන් නමැති තරුණයකු බවට හදුනාගෙන තිබේ.
අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා තවත් මිතුරන් තිදෙනෙකු සහ ඇඹිලිපිටිය ප්රදේශයෙන් විනෝද චාරිකාවක් සදහා පැමිණි අටදෙනෙකුද ඊයේ (12) පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇති බව පැවසේ.
එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් රෙස්කියු ටියුබ් රැගෙන මුහුදට පැන රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි එකොළොස් දෙනෙකු බේරාගෙන ඇති බව පැවසේ.
බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20 ට අඩු තරුණයන් බවත්, අද දින මුහුද රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවත් ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි. ජීවිත බේරා ගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී සීරීම් තුවාල ලබා ඇති බවද ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.