දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග රජය දේශපාලන පත්වීම් ලබාදීම සිය සංගමයේ පමණක් නොව මුළු රටේම කණස්සල්ලට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.
ජාතික ජන බලවේග රජය පත්වන අවස්ථාවේ අතිශය කණගාටුදායක එම සම්ප්රදාය අවසන් වනු ඇතැයි තම සංගමය විශ්වාස කළත් නව රජයද එම සම්ප්රදාය ඉදිරියට රැගෙන යන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සඳහන් කළේය.
ජාතික ජන බලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, ” විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත් කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුයි” ලෙස සටහන්ව තිබුණත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කරමින් රජය විදේශ සේවය සඳහා දේශපාලන පත්කිරීම් සිදු කිරීම තැති ගන්වන සුළු බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.
විදේශයන්හි පිහිටි මෙරට මහ කොමසාරිස්, තානාපති කාර්යාලවල පුරප්පාඩු වී තිබූ තානාපති, මහා කොමසාරිස් ධුර රැසකට වෘත්තීමයභාවයේ, කුසලතා මත පදනම්ව පත් කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසළකා හරිමින් විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පත්වීම් සිදුකර ඇති බව එම සංගමය පැවැසුවේය.
ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තීමය විදේශ සේවා නිලධාරීන් නොසළකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය කීය.
එවැනි නිලධාරීන් නොසළකා හරිමින් දේශපාලන පත්වීම් ලබාදීම විදේශ සේවය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළන බවද එම සංගමය ප්‍රකාශ කළේය.
දිගින් දිගටම ජාතික ජන බලවේග රජය විදේශ සේවය සඳහා දේශපාලන පත් කිරීම් සිදු කිරීම තුලින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාවය අනතුරේ හෙළන බවත් පළපුරුදු විදේශ සේවයට කැපවූ නිලධාරීන් අධෛර්යයට පත් කරන බවත් විදේශ සේවා සංගමය පැවැසුවේය.
ඒ හේතුවෙන් ලබාදී ඇති සියලු දේශපාලන පත්වීම් යළි සළකා බලන ලෙස සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ප්‍රකාශ කළේය.