මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලුම වියදම් සහ ආදායම් පිළිබඳ අවධානය යොමු කළ බවත් ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්යක්ෂ අශෝක රත්නායක පැවසීය.
වී මිල පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (7) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අශෝක රත්නායක මහතා එසේ පැවසීය.
පෞද්ගලික අංශය මේ වන විට වී කිලෝවක් රුපියල් 125 කට වඩා අධික මුදලකට මිලදී ගනිමින් සිටින්නේ එවැනි මිලකට ගත්තද ඔවුන්ට විශාල ලාභයක් තිබීම නිසා බව කී රත්නායක මහතා ගොවියකු මාස හයක් තිස්සේ මහන්සි වී වී කිලෝ 5000 ක අස්වැන්නක් පමණක් ලබන බව ද සඳහන් කළේය.
එය එසේ වුවද මහා පරිමාණයේ වීමෝල් හිමියෙකු දිනකට වී කිලෝ 25000ක් ලෙස මාස හයක කාලයක් මාසයකට දින 25 බැගින් වීමෝල පවත්වාගෙන ගියහොත් රුපියල් ලක්ෂ 37 කට අධික ලාභයක් ලබන බවත් මෙවර වී මිල තීරණයය කිරීමේදී වීමෝල්හිමියන් වී මිලදීී ගැනීමේදී, තොග පවත්වාගෙන යාමේදී, සේවක වැටුප් ගෙවීමේදී, සහල් විකිණීමේදී ආදී දරන සියලුම වියදම් සහ ඔවුන් අතුරු නිෂ්පාදනවලින් ලබන ලාභයන් පිළිබඳව ද අවධානය යොමු කළ බවත් ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්යක්ෂ අශෝක රත්නායක මහතා කීය.
සහල් අලෙවි කිරීමේදී වීමෝල්හිමියාට රුපියල් 5 ක, අතරමැදියාට රුපියල් 3 ක සහ සිල්ලර වෙළෙන්දාට රුපියල් 5 ක ලාභ තීරුවක් වෙන් කර ඇති බව කී රත්නායක මහතා පැවසුවේ මෙම ලාභ තීරුවද සමඟ රජය ප්‍රකාශයට පත්කර ඇති උපරිම සිල්ලර මිලට කිසිදු ගැටළුවකින් තොරව සහල් අලෙවි කළ හැකි බවත්ය.