පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර තිබේ.
ඒ, අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුවය.
අදාළ සේවකයින් තිදෙනා විමර්ශන මගින් වැරදිකරුවන් බව තහවුරු වී ඇත.
අනතුරුව, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙනා, සේවයෙන් පහ කිරීම සඳහා කථානායකවරයා පසුගියදා අනුමැතිය ලබා දී තිබේ.
2021 සහ 2022 කාල පරිච්ඡේදවල සිදු වූ මෙම ලිංගික හිංසනයන් පිළිබඳ 2023 වසරේ පුවත්පතක කරුණු වාර්තා විය.
අනතුරුව එවකට කථානායකවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කර තිබුණි. එම විමර්ශන කමිටු වාර්තාව 2023 අගෝස්තු මස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත ලැබී තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කෙරුණු අතර නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මීට අදාළ පරීක්ෂණ සිදුකෙරුණි. ඒ, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගිනි.
මීට අදාළ චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස චූදිත නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත, විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ද පත්කරනු ලැබීය.
එම විනය පරීක්ෂණයේ අවසන් වාර්තාව, පසුගිය දෙසැම්බර් මස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත බාරදුන් අතර එය පදනම් කරගනිමින්, අදාළ සේවකයින් තිදෙනා සේවයෙන් පහ කිරීමට කටයුතර කළ බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.