හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන, එම යුවලගේ දියණියන් තිදෙනා හා බෑණනුවන් නමින් බැංකු කීපයක පවත්වාගෙන යන රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය තවදුරටත් මාස තුනක කාලයකට, එනම් ලබන ජනවාරි 4 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (04දා) නියෝග කළේය.
එකි බැංකු ගිණුම් සම්බන්ධව විමර්ශන සිදුකිරීමේදී සැකසහිත බවක් පෙනී යන්නේ යැයි පෙන්වාදෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ලිඛිතව කළ ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පසුගිය ජූලි 4 වැනිදා මුල්වරට එකී අත්හිටුවීමේ නියෝගය නිකුත් කර තිබිණි.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රානි පමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති බණ්ඩාර දෙහිදෙණිය යන හයදෙනාගේ නමින් පවත්වාගෙන යන ස්ථාවර තැන්පතු හා ජීවිත රක්ෂණ ඔප්පු එලෙස අත්හිටුවීම සිදුකර තිබිණි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයට සැපයීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහුගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමින් පවතින බැංකු ගිණුම් හා දේපළ පිළිබඳව සොයාබැලීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නව දූෂණ විරෝධී පනත යටතේ සිදුකළ එකී විමර්ශන අනුව සිදුකළ එම විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත ප්‍රථමයෙන් දින හතක කාලයකට පෙරකී බැංකු ගිණුම් තහනමට ලක්කිරීමට පියවර ගෙන තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුව මහාධිකරණයෙන් එකී තහනම් නියෝග ලබාගැනීමට පියවර ගෙන තිබිණි.