අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් සහ අක්කර 05ක් විශාල ඉඩම් දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (18) නියම කළේය.
හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස උපයා ගත් මුදල් වලින් මෙම වාහන සහ ඉඩම් මිලදී ගෙන් ඇද්ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මාස 03ක කාලයක් සඳහා වාහන තුන සහ ඉඩම් දෙක තහනම් කිරීමට නියම කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපල උපයා ගැනීමේ විමර්ශන අංශය කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන දෙසැම්බර් මස 18 වැනිදා බලපැවැත්වෙන අන්දමට මෙලෙස තහනම් කරන ලද්දේ සී.බී.සි 7199 දරණ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගි කාර් රථය, අංක එල්.එල්. 9725 දරණ ලොරි රථය ඇතුළු වාහන 03ක් සහ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ නුවරගම් කෝරළයේ පිහිටි අක්කර හතරකට වඩා විශාල ඉඩමක් සහ සමඟිපුර ගමේ රජයේ ඉඩමකට මායිම්ව පිහිටි අක්කරයකට වඩා විශාල ඉඩමකි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයථා අන්දමින් මුදල් හා දේපල උපයා ගැනීමේ විමර්ශන අංශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම නමැත්තා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගෙන් අයථා ලෙස මුදල් උපයා ගත් බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.
එම විමර්ශනයේදී සැකකරු විසින් සුඛෝපභෝගී මොටර් රථ ඇතුළු වාහන තුනක්ද විශාල ඉඩම් දෙකක්ද මිලදී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වත්කම් මිලදී ගෙන ඇති ආකාරය පිළිබඳ විමර්ශන කරන අතරතුර එම ඉඩම් සහ වාහන විකුණා දැමීමට හැකියාව ඇති හෙයින් එම වාහන සහ ඉඩම් අන්සතු කිරීම හෝ විකිණීම වළකාලමින් තහනම් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ලබන දෙසැම්බර් 18 වැනිදා බලපැවැත්වෙන අන්දමට අදාළ වාහන සහ ඉඩම් තහනම් කිරීමට නියම කළේය.