පයාගල පොලිසියේ රථවාහන අංශ නිළධාරින් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ප්රකාශකයෙක් පැවසීය .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බව පොලිසිය කීය.
මෙම සිසුවා මිතුරෙකු සමග පසුගිය (07) පස්වරුවේ පියාට අයත් යතුරු පැදියෙන් අසල ඇති වෙළද සැලකට ගොස් ඇති අතර , මිතුරා හෙල්මට් පැළද සිට නොමැති බව පොලිසිය සදහන් කරයි.
ඒ බව දුටූ පයාගල පොලිසියේ රථවාහන අංශ ජංගම නිළධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ විත් යතුරු පැදිය නවත්වා බැන වදිමින් යතුරු පැදිය අසලට පැමිණ තිබේ. ඒ මොහොත වනවිටත් එන්ජිම ක්රියාත්මකව තිබී ඇති අතර , බියටපත් පාසල් සිසුවා යතුරු පැදිය පනගන්වා අසල පිහිටි ඥාති නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සදහන් වේ.
නැවත ඔවුන් ලුහුබැඳ පොලිස් නිළධාරින් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනේ පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාට කනේ පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර ,ඒ මොහොතේ ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර බූට් සපත්තුවෙන් තුනටිය ප්රදේශයේ පාගා ඇතිබවද සිසුවා වැඩිදුරටත් පැවසීය .
පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්රකාශකයෙක් පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව් .ඒ. අසංක යන අය කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් තමාගේ පුතාට මෙන් තවත් දරුවෙකුට මෙවන් අමානුෂික පහරදීම සිදුනොකිරීමට කටයුතු කරන ලෙස බළධාරින්ගෙන් ඔහු ඉල්ලා සිටී.