බස් රථය නොනැවැත්වීම හේතුවෙන් උරණ වූ පුද්ගලයෙක්, තවත් තිදෙනෙක් සමග එක්ව ලංගම බස් රථ රියදුරෙක් පැහැරගෙන ගොස් පහර දී තිබේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බණ්ඩාරගම රයිගම සිට දෙහිවල හෙට්ටියාවත්ත දක්වා සෑම දිනකම ගමනාන්තයේ යෙදෙන ලංගම බස් රථයක රියදුරෙක් පසුගියදා පහරකෑමකට ලක්ව තිබේ.
මෙම රියදුරු කොළඹ දක්වා බස් රථය ධාවනය කරමින් සිටි අතරතුර ගැලණිගම සහ විදාගම අතර බස් නැවතුමක රැඳී සිටි පුද්ගලයෙක් දින කිහිපයක් එම බසය නැවැත්වීමට උත්සාහ දරා තිබුණත් රියදුරු එම ස්ථානයේ බස් රථය නොනවත්වා ධාවනය කර තිබුණි.
ඒ , එම බස් රථය සීමිත නැවතුම් බස් රථයක් ලෙස ඩිපෝවෙන් හඳුන්වා දී තිබීම හේතුවෙනි.
දින කිහිපයක්ම බස් රථය නොනැවැත්වීම සම්බන්ධයෙන් උරණ වූ අදාළ පුද්ගලයා රියදුරුගේ ජංගම දුරකථනයට ඇමතුම් දී තර්ජනය කර ඇති බව වාර්තා වේ.
පසුව එම පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙක් සමග පසුගිය 25 වැනිදා රාත්රීයේදී රියදුරුගේ නිවසට ගොස් තිබේ.
රියදුරුව නිවසින් පිටතට ගෙන ඔවුන් පැමිණි මෝටර් රථයේ නංවාගෙන කොතලාවල උයන්වත්ත වැව පාරට රැගෙන ගොස් කඩුවක් ගෙලට සිරකර පහරදී ඇති බව වාර්තා වේ.
අනතුරුව රියදුරු එහි අතහැර දමා සැකකරුවන් මෝටර් රථයෙන් පළා ගොස් තිබුණි.
මෙම පහරදීමෙන් තුවාල ලැබුවේ උඩහමුල්ල ඩිපෝවේ රියදුරෙක් වන 45 හැවිරිදි රසික පෙරේරාය.
ඔහු ප්රතිකාර සඳහා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කෙරුණි.
මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව ක්රියාත්මක වූ පොලීසිය බණ්ඩාරගම විදාගම ප්රදේශයේ පදිංචි ප්රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු කොළඹ සෞඛ්යය අධ්යක්ෂ කාර්යාලයේ රියදුරෙකු වශයෙන් සේවය කරන තැනැත්තෙකි.
පහරදීම සඳහා ඔහුට සහාය දුන් ඔහුගේ සහෝදරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්වුණි.
සැකකරුවන් පානදුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණු අතර එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහෙස්ත්රාත්වරිය නියෝග කරනු ලැබීය.