වසර 14 ක් තිස්සේ තම වැදූ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක් නැවත වරක් තම මව සෙවීම සදහා ඉකුත් දා ලංකාවට පැමිණියාය.
ඇය නමින් ජානා බෙකර්ය. ඇයගේ උප්පැන්න සහතිකයේ සදහන් ලංකාවේ නම වනුයේ වාසනා මල්කාන්ති ය.
ඇයට මාස තුනක් පමණ වන විට වැදූ මව විසින් ජර්මන ජාතික යුවළකට ඇය හදාගැනීම සදහා බාරදී තිබේ. ඇය ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නගරයේ ජීවත්වේ.
ඇය 1990 වසරේ අප්‍රෙල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල්වීදිය රෝහලේ උපත ලබා ඇති අතර ඇය ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම කාසල් රෝහල අසලට යාමට අමතක නොකරන්නේ කොයිම මොහොතක හෝ ඇගේ මව කාසල් රෝහල අසල හිදීවි යන විශ්වාසයෙන් බව ඇය පවසන්නීය.
ඇයගේ උප්පැන්න සහතිකයට අනුව මව ගම්පහ ප්‍ර දේශයේ පදිංචිවී සිට ඇති අතර උප්පැන්න සහතිකයට අනුව ඇය මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ කාන්තාවක බව ඇය කියන්නීය. ඇයගේ පියා මොරන්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයකු බවට පවසා තිබූ අතර ඔහු පිළිබදව සිදුකළ ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් පසුව ඔහු ඇයගේ පියා නොවන බව සනාථවී තිබේ. කෙසේ වෙතත් ඔහු මීට වසර 2 කට පෙර මියගොස් තිබූ බවද ඇය පවසන්නීය.
ඇය පවසන්නේ ඇයගේ මව සොයා ලංකාවේ බොහෝ නගරවල සොයමින් ඇවිද ගිය බවය. ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත්වල ද විස්තර ලිපි පළකලද ඇය පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බවය.
ඇයගේ බලාපොරොත්තුව ඇයගේ මව එක පාරක් බලාගැනීම බව ඇය කියයි. ඇගේ වැදූ මවගේ අඩුව නිතරම දැනන බවත් එක පාරක් ඇය සමග කතාකරන්න, තුරුලටවී සිටින්නටත් ඇය ආස කරන බවද ඇයි කියන්නීය.
කෙසේ වෙතත් විවිධ කාන්තාවන් ඇය ගේ මව බව පවසමින් ඉදිරිපත් වන හෙයින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර නිශ්චිතව ඇයගේ මව ද යන්න සනාථ කරගැනීමට ද ඇය කැමැත්තෙන් සිටින්නීය.
1990 වසරේ අප්‍රේල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල් රෝහලේ දී උපත ලැබූ දැරියක ජර්මන් ජාතික කාන්තාවකට හදාගැනීම දී ඇත්නම් 0711 31 78 33 අංකයට අමතන ලෙස ඇය ඉල්ලා සිටින්නීය.