මුදල් කොල්ලයකට කොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග සිදු වූ පොරබැදීමකින් කොල්ලකරුවකු මියගොස් තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි දිනේෂ් දුලාර නැමති වේරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන අඩු මිලකට ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම පළකර එලෙස දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින් මංකොල්ලකන කණ්ඩායමක් පිළිබඳව පොල්ගහවෙල පොලීසියට ඊයේ (26) පැමිණිල්ලක් ලැබී තිබිණි.
ඒ අනුව අදාළ ජාවාරම්කරුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් තිදෙනෙකු අදාළ පැමිණිලිකරුවන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබෙනවා සිවිල් පුද්ගලයන් තිදෙනෙකු මෝටර් රථයක් තුළ සැඟවී ගොස් තිබේ.
“එක්තරා පුද්ගලයෙක් facebook එක හරහා, දැන්වීම් පළ කරනවා අධික මිල සහිත දුරකථන අඩු මුදලට අලෙවි කරන බවට කුරුණෑගල ප්‍රදේශයේ. ඒ අනුව රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් ජංගම දුරකථනයක් අරන් යන්න ඇවිත් තියෙනවා. එම පිරිස ඔවුන්ගේ මුදල් මංකොල්ලාකාලා ජංගම දුරකථනයත් අරන් ගිහින් තියෙනවා. මොවුන්ව ගෙන්වන්නේ රාත්‍රී කාලයේ පාළු ස්ථානයකට තමා මේ ජංගම දුරකථනය අලෙවි කරනවා කියලා කැඳවා ගන්නේ. ඒ වෙලාවට ගියාම පාළු තැනකදී මේ ජංගම දුරකථනය මිල දී ගන්න රැගෙන එන මුදල් මංකොල්ලා කනවා. එම අවස්ථාවේ දී මේ පිරිස පොලිසියට පැමිණිල්ලක් කරලා නෑ. මොකද කුඩා දරුවෙක් මෝටර් රථය තුළ ඉඳලා තියෙනවා. නමුත් දෙවැනි අවස්ථාවේ දී මොවුන් දැකලා තියෙනවා facebook මෙවැනිම දුකරථනයක් මේ ප්‍රදේශයේම අලෙවි කරන්න තියෙනවා කියලා. ඒ නිසා ඔවුන් පොලීසියට පැමිණලා මේ ගැන පැමිණිලි කරලා, පොලිසිය සමග ගිහින් තියෙන්නේ. පැමිණිල්ල කළ තිදෙනෙක් හා පොලීසියේ තිදෙනෙක් කාර් රථයේ ඉඳලා තියෙනවා. ”
කැලෑබඳ ප්‍රදේශයකට පිරිස කැඳව කොල්ලකරුවන් එකවිටම ඔවුන් පැමිණි මෝටර් රථයට කඩුවලින් පහරදී තිබේ.
“මේ පුද්ගලයින්ව තැන වෙනස් කරමින් විවිධ තැන්වලට මොවුන්ව ගෙන්වා ගෙන තියෙනවා. පසුව වෙල්යායක් වැනි පාළු තැනකට ගෙන්වා ගෙන තියෙනවා. එහිදී කාර් රථයට කඩුවලින් පහරදීලා තියෙනවා. එහිදී පොලීසියෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලීසියේ ගිනිඅවිය උදුරාගන්න උත්සාහ දරා තියෙනවා. එහිදී ගිනිඅවිය ක්‍රියාත්මක වී සැකකරුවෙක් මියගොස් තියෙනවා.”
මේ අතර අදාළ සිදුවීමෙන් දුරකථනය මිල දී ගැනීමට පැමිණි අවුරුදු 17ක සහ 26ක පුද්ගලයින් දෙදෙනෙකු ද කඩු ප්‍රහාරයෙන් හා වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මියගිය සැකකරු සාක්ෂරතාවයක් නොමැති අයෙක් බවට අනාවරණය වූ බවත් මෙය සමාජ මාධ්‍ය මෙහෙයවිය හැකි කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකරන්නට ඇතැයි සැක කරන බවය.