හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් මිදී කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවට ඕමල්පේ සෝභිත හිමියන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයකැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය.
ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන්ගේ නම ද ඈ දා ගනිමින් කර ඇති අසත්‍ය ප්‍රකාශයකට තමාට පිළිතුරු දීමේ අයිතියක් ඇති බව සඳහන් කරන සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනුයේ එවකටත් ජනාධිපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කටුනායක ගුවන්තොටුපලෙන් පිටවී යාමට සෝභිත හිමියන්ගේ අවසරයක් හෝ පහසුකමක් අනවශ්යව තිබූ බවය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වෙමින් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය.
ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත් 2022 වසරේ ජූලි මස දොළොස්වෙනි දින තමා අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරය හැර යන ලෙසට බල කළ බවත් එසේ ධූරය හැර යන බවට වන ලිපිය තමා සන්තකයට ලබාගෙන තහවුරුවක් උන්වහන්සේට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි බවද සුගීෂ්වර බණ්ඩාර මහතා කීවේය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සෝභිත හිමියන්ගේ ඉල්ලීමට කන් දීමේ අවශ්‍යතාවක් නොතිබූ අතර කටුනායක තොටුපළෙන් පිටව යාමට උන්වහන්සේගෙන් කිසිදු පහසුකමක් හෝ සහායක් ලබා නොගත් බවද සුගීෂ්වර මහතා කීවේය.
සෝභිත හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරය හැර යන්නැයි බලකරමින් එදින ඉතා උද්දාමයෙන් කතා කළ බවද බණ්ඩාර මහතා සඳහන් කළේය.
තවද ඕමල්පේ සෝභිත හිමියන් තමාට තවත් වරෙක කතාකර රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නහොත් තමන් වහන්සේ සහ තවත් භික්ෂූන් පිරිසක් ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පැමිණ ගිනි තබා ගන්නා බවට තර්ජනය කළ බවද සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නැය ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වන ලෙස ඕමල්පේ හිමියන් දුරකථනයෙන් තමාට තර්ජනය කළ බවද සුගීෂ්වර බණ්ඩාර මහතා කීවේය.
කොළඹ අගරදගුරු තුමාගේ මතයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමි විය යුතු බව යැයිද එහිදී සෝභිත හිමියන් තමාට පැවසූ බවද හෙතෙම සඳහන් කළේය.
තමා සියලු කරුණු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන්වූ නමුත් සෝභිත හිමියන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු නොවූ බවද හෙතෙම කීවේය.
තමාගේ අනන්‍යතාවය ඇති ජාතිකවාදී කඳවුර තුළ ඕමල්පේ හිමියන් ප්‍රතික්ෂේප වේ යැයි පවතින බිය නිසා උන්වහන්සේ අසත්‍ය කරුණු මාධ්‍යයට ප්‍රකාශ කරන බවද සුගීෂ්වර මහතා කීවේය.