පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්රදේශවල සිදුවූ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය ප්රකාශ කළේ පිටිගල, ගුරුවල ප්රදේශයේ වෙළෙඳසැලක් අසලදී ඊයේ (11) රාත්රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමට ටී – 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඇල්පිටිය රෝහලටත් තවත් දෙදෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලීසීය පැවසුවේය.
මේ අතර අම්බලන්ගොඩ ගලගොඩ ප්රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය ප්රකාශ කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්රී එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සඳහා ටී – 56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළකරයි.
තුවාල ලැබූවන් බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.
මේ අතර ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකරු අත්තනගල්ල යටවක ප්රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇති බව වාර්තා වේ.
ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගිය ජනවාරි 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන 32 හැවිරිදි මෙම සැකකරු මොනරාගල හම්බේගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.