වෙබ් අඩවියක් පවත්වා ගෙන යමින් යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන් අපහාස වන අයුරින් පුවත් පළකරමින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළේ යැයි චෝදනා මත අත් අඩංගුවට ගත් ගලකන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක නැමැති සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06) නියෝග කළේය.
සැකකරු වෙබ් අඩවිය බලපත්රයක් නොමැතිව පවත්වා ගෙන ගොස් ඇති බවත් යුද හමුදාපතිගේ කුස්සියත් ඒ.සී වැනි ශීර්ෂ යටතේ යුද හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළකර ඇති බවත් මහේස්ත්රාත්වරයා ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.එම පුවත්වල යුද හමුදා නිලධාරීන් පිළිබඳ අපහාසාත්මක කරුණු ඇතුළත් වන බවත් එක් තැනක සෙබළියන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බව සඳහන් වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ කළේය.
එම අවස්ථාවේදී වෙබ් අඩවිය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයාගේ වාර්තාව මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙවැනි අපහාසාත්මක පුවත් පළ කිරීම තුළින් මහජනතාව යුද හමුදාව පිළිබඳ දරණ මතය පහළ දැමීමට උත්සාහ කරමින් රටේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් එල්ල කර ඇතැයි පැවැසුවේය.