විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (1) පියවර ගත්තේය.
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් අතර ඊයේ පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ අතර පසුව අවශ්‍ය සම්පූර්ණ දත්ත සපයන ලෙස කොමිසමේ නිලධාරීන් විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නේය.
මෙම වසරේ විදුලි සැපයුමට සම්බන්ධ වියදම් පිළිබඳ දත්තවල ගැටලු තව දුරටත් පැවතීම මෙම තත්වයට හේතුවයි.
මහජන උපයෝගිතා කොමිසම මීට පෙර ද විදුලිබල මණ්ඩලයට සම්පූර්ණ දත්ත යොමු කරන ලෙස දැනුම් දුන්නේය.
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කා මහතා පැවසුවේ මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල විස්තර අඩු බවත් ඒවා දින කීපයකදී යොමුකරන්නේ යැයි මණ්ඩලයේ නිලධාරීන් පැවසූ බවත්ය.
එම දත්ත ලැබුණු පසු විදුලි ගාස්තු එක් එක් කාණ්ඩයට අඩුවන ප්‍රතිශතය තීරණය කරන බවත් ඩග්ලස් නානායක්කා මහතා වැඩි දුරටත් කීය.