සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (19) නිකුත් නිකුත් කළේය.
සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු, සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු ට මෙම වාරණ නියෝග ය නිකුත් කළේය.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කර ගැනීම එරෙහිව තම සේවාදායකයා අදහස් පළකළ බවත් ඉන් අනතුරුව එම අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටත් පසුගිය කාලයේ මාධ්‍ය වලින් තොරතුරු පළවී තිබූ බවත් ය.
අසාධාරණ හා අයුක්ති සහගත ලෙස තම සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම, සාමාජිකත්වයෙන් නෙරපීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරමින් විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂද සිල්වා යන මහත්වරු වෙත වාරණ නියෝග හානොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.