පාසලේ දී ලියන මේසයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මැල්සිරිපුර පොලීසිය පවසයි.
ඊයේ (14) වැනි දා සවස මැල්සිරිපුර – උදම්පිට ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදු වී ඇත.
පහර කෑමට ලක් ව ඇත්තේ, මැල්සිරිපුර – කැන්දලව – විහාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 15ක සිසුවෙකි.
ඔහු රිදීගම – උදම්මිට මහා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට තිබේ.
ඊයේ තමන් පාසලේ පැවති වාර විභාගය අවසන් වී නිවස බලා යමින් සිටින විට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ආරක්ෂිත හිස් වැසුමකින් සහ උණ බටයකින් තමන්ට පහර දුන් බව පාසල් සිසුවා පොලීසියට පවසා ඇත.
පහර දීම සිදු කරන ලද්දේ ගොකරැල්ල – බලවත්වල පදිංචිකරුවන් දෙදෙනෙකු බවට තමා හඳුනාගත් බව ද සිසුවා පොලීසියට පවසා තිබේ.
මීට සතියකට පමණ පෙර පාසලේ දී ලියන මේසයක් සම්බන්ධයෙන් තවත් සිසුවෙකු සමඟ ආරවුලක් ඇති වූ බවත් එම අවස්ථාවේ තමා සමඟ ආරවුල ඇති කර ගත් සිසුවාගේ මිතුරෙකු තමන්ට දුරකථනයෙන් තර්ජනය කළ බවත් සිද්ධියට මුහුණ දී ඇති සිසුවා පොලීසියට පවසා ඇත.
තමාට පහර දුන් දෙදෙනා අතර තර්ජනය කළ අය ද සිටි බව පහර කෑමට ලක් වූ සිසුවා පොලීසියට පවසා ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මැල්සිරිපුර පොලීසිය සඳහන් කරයි.