මිත්තණියගේ රුපියල් ලක්ෂ 15ක මුදල් සොරකම් කළ 14 හැවිරිදි මුනුබුරාව දොඩංගොඩ පොලීසිය විසින් අද (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.
පසුගිය 31 වනදා දහවල් කාලයේ දොඩංගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය නිවසක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 15ක මුදලක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කර ඇති බවට දොඩංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
මිත්තණිය දහවල් කාලයේ නිවසින් බැහැරව ගොස් සිටියදී හොර රහසේ ඉනිමඟක් ආධාරයෙන් වහලයෙන් නිවසට ඇතුළුවී සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවාව සැකපිට අත්අඩංගුවට ගැනුණි.
මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් සැකපිට ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දොඩංගොඩ පොලීසියේ නිලධාරීන් මෙම බාලවයස්කරුගේ හැසිරීම් රටාව දැඩි ලෙස නිරීක්ෂණය කර තිබුණි.
ඉන් අනතුරුව අද දහවල් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමේ සුලමුල හෙළිවී ඇති බව අප වාර්තාකරු පවසයි.