මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අදාළ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 22 හැවිරිදි තරුණයෙකු බවයි.
ඔහු වෙඩිතැබීම සිදු වූ දුරකථන උපාංග අලෙවිසලට පැමිණි අයෙකු වන අතර, අපරාධකරුවන්ගේ ඉලක්කය වී තිබූණේ එම අලෙවිසලේ හිමිකරු බවට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බව නිහාල් තල්දූව මහතා පැවසීය.
මාතර – මාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසලක දී පුද්ගලයෙකු ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදු වුණේ ඊයේ (20) රාත්‍රී 08ට පමණ ය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි.
සිද්ධිය සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබිණි.
යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු දුරකථන උපාංග අලෙවි අලෙවිසලට ඇතුළු වී වෙඩිතැබීම සිදු කර ඇත.
ඝාතකයන්, වෙඩිතැබීමට පෙර ද දුරකථන උපාංග අලෙවිසලට පැමිණ ඡායාපිටපත් ලබා ගැනීමට අවශ්‍ය බවට පවසා ඇති අතර, එහි දී හිමිකරු පවසා ඇත්තේ අදාළ පහසුකම නොමැති බවයි.
ඒ අනුව ඉන් පිට ව යන සැකකරුවන් පසු ව යළි පැමිණ වෙඩිතැබීම සිදු කර තිබේ.
වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ දුරකථන උපාංග අලෙවිසලේ හිමිකරු පිටත රැඳී සිට ඇති අතර, අලෙවිසල තුළ සිට ඇත්තේ, හිමිකරුගේ මිතුරෙකු වන වෙනත් තරුණයෙකි.
වෙඩි වැදීමෙන් මිය ගියේ 22 හැවිරිදි අදාළ තරුණයාය.
මින්දික අලුත්ගමගේ නම් ඔහු දෙනිපිටිය ප්‍රදේශයේ පිදිංචිකරුවෙකු වන අතර, ඔහු සිය ජංගම දුරකථනය චාර්ජ් කරගැනීම සඳහා එම වෙළෙඳසලට පැමිණ තිබිණි.
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරන අතර, ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර, වෙඩිතැබීම වෙළෙඳසලේ හිමිකරු ඉලක්ක කරගෙන සිදු කළ බවට මතු ව ඇති සැකය මත ඔහු ව පොලිස් භාරයට ගෙන ආරක්ෂාව ලබාදීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අනුරුද්ධ බුද්ධදාස මහතා නියෝග කර තිබේ.