කෑගල්ල නෙළුන්දෙණිය නගරයේ රාත්රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් දෙදෙනකු පරීක්ෂාකිරීමට යද්දී තියුණු පිහි පහරකට ලක් ව එම නිලධාරීන් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා ත්රීරෝද රථයකින් රාත්රි මුර සංචාර කටයුතු කරද්දී සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු බෑගයක් අතැතිව පාරේ ගමන් කරමින් සිට ඇත. ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ රාජකාරී කටයුතුවලට බාධා එල්ල කර ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව සැක කටයුතු එක් පුද්ගලයකු පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් මිදි පලා ගොස් ඇති අතර සෙසු පුද්ගලයාට අත් විලංගු දැමීමට ගිය අවස්ථාවේ පෙපර් කටර් තලයකින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ අත් පය කපා ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව තුවල සහිත සැක කටයුතු පුද්ගලයා අත් අඩංගුවට ගෙන ත්රීරෝද රථයට නංවාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව තුවල ලබා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් දැදිගම පොලිසියට දැන් වීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරු දැදිගම පොලිසියටත් තුවාල ලබා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමටත් කටයුතු සිදු කර තිබුණි.