යුක්තිය මෙහෙයුමේදී ගෙවුණු පැය 24 තුළදී මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 1422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරයි.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත කර සිටි සැකකරුවන් 73 දෙනෙකු ද ඊයේ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
යුක්තිය මෙහෙයුමට සමගාමීව පානදුර හිරණ පාලම අසළ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හඳුනා නොගත් මත් කරල් තොගයක් හා ජාවාරමෙන් උපයාගත් මුදල් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘සින්නා’ නමැත්තා හිරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී මත්කරල් 400 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 60,000ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබුණි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත්තේ මේ දිනවල සිදුකරන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් හේතුවෙන් හෙරොයින් මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය දැඩි හිඟයක් පවතින බැවින් මත්කුඩු භාවිත කරන්නන් ඊට ආදේශකයක් ලෙස මෙම හඳුනා නොගත් මත්කරල් භාවිතා කරන බවය
මේ අතර මහර නුගේගොඩ ප්‍රදේශයේ අපරාධකරුවෙකු සැඟව සිටින බවට ලද තොරතුරුකට අනුව කළ වැටලීමක් අතරතුරු එම සැකකරු පළාගොස් තිබේ.
පසුව ඔහු අල්ලාගෙන පැමිණ කළ පරීක්ෂාවකදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයාගැනීමට හැකිවී ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් සතුව ජීව අත්බෝම්බයක්ද තිබෙන බවය.
එය සෙවීමට පිටත් වූ අවස්ථාවේ සැකකරු යළි පලාගොස් ඇති අතර එසේ දිව යාමේදී වළකට ඇද වැටී මියගොස් තිබුණි.
මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ අද අලුයම කොටුව පොලිස් ස්ථානයට අයත් වන කොටුව දුම්රිය ස්ථානය සහ තවත් ස්ථාන කිහිපයක් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද්ධ හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව සෝදිසි කර තිබේ.
එහිදී සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර කුඩාවැල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රීත ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් අද අලුයම දියත්කෙරුණි.
එහිදී පොලිසියට අවශ්‍යව සිටි වරෙන්තුකරුවකු සහ සැකසහිතව හැසිරුණු වෙනත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් 26 දදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.