ගුවන්යානා අලුත්වැඩියා සහ එකලස් කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ව මත්තල ගුවන්තොටුපොළ ට ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ සඳහා ආයෝජකයන් 6, 7 දෙනෙකු යෝජනා ඉදිරිපත්ව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අද ( 29) පාර්ලිමේන්තුවේදී ඔහු මෙසේ පැවසුවේ, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා,
“හම්බන්තොට ශ්‍රවණාගාරය බිලියන ගණනක් වියදම් කරලා හැදුවා. අද හරක් ළගින තත්ත්වයට පත්වෙලා තියෙනවා. මම දන්න තරමින් BMICH එකට වඩා ඒකේ පහසුකම් තියෙනවා. මේ ගත්ත වැරදි තීන්දු නිසා තමයි අද මේ රට බංකොළොත් වෙලා තියෙන්නේ. මම කියන්නේ මේ වැරිද තීන්දු ගත්ත කැබිනට් එකටම දඬුවම් දෙන්න ඕනේ. මේ වගේ වැරදි තීන්දු ගත්තාට. ඒ නිසා මම දැනගන්න කැමතියි මේ රටට බරක් වෙලා තියෙන මේ වගේ ගුවන්තොටුපොළත් කවද්ද මේක ලාභ ලබන තත්ත්වයට පත් කරන්න පුළුවන් කියන එක දින වකවානු ඔබතුමාට කියන්න පුළුවන්ද?”
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,
“දින වකවානුවක් කියන්න බෑ. යම් වාණිජමය ව්‍යාපෘතියකින් ලාභ ලබාගැනීම සඳහා යම් යම් ක්‍රමවේද සහ උපක්‍රම යොදන්න සිදුවෙනවා. අපි පෞද්ගලික අංශයෙන් අභිලාෂ කැඳවලා තියෙනවා. මේ ගුවන්තොටුපොළේ ගුවන්යානා එකලස් කිරීම, ඒ වගේම ගුවන්යානා අලුත්වැඩියා කිරීම වැනි කාර්යන් සඳහා මේ ගුවන්තොටුපොළ ලබාදීමට ඒ සඳහා දැනට අභිලාෂයන් 6, 7ක් ඇවිල්ලා තියෙනවා. ඒවා අපිට යම් ආකර්ෂණයක්, පුළුවන් වුණොත් අපිට අවුරුදු 3, 4ක දී අපිට වියදම් කරන මුදලට සමානව ආදායමක් ලබාගන්න පුළුවන් වේවි.”