“ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්, සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ?” ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ඉරණම යන මැයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම අදහස් පළකළේය.
එසේම ජනාධිපති කාර්යාලය තුළ ක්‍රිකට් ආයතනයට පක්ෂපාතීව කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව ජනපතිවරයා විමසිලිමත් විය යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුවෙන් තමා ඉවත්වූයේ එම ආණ්ඩුව ඉතාමත් ශක්තිමත්ව තිබූ කාලසීමාවක බවද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.
තමන් මේ මොහොතේ උඩුගම් බලා පිහිනීමක් සිදුකරන බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සිය හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන බවය.
“දූෂිත හොර තක්කඩි රැළ, මේ රටේ ක්‍රිකට් කාබාසිනියා කරපු රැළ, සූදුකාරයෝ ප්‍රවර්ධනය කරන රැළ ගෙදර යවන්න,” තමන් ජනාධිපති, ආණ්ඩුව, කැබිනට්ටුව, විපක්ෂය සහ 225 ඇතුළු රටේම සහයෝගය ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සිය කතාව තුළදී සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ,
“2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණි. මේ සඳහා අප රට නියෝජන කරමින් ක්‍රීඩකයින් 20ක් සහ සහායක නිලධාරීන් 13ක් ද, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 16ක් ද සහභාගී විය. එනමුත් මෙම තරගාවලිය අතරතුර තරග පරාජයන්ට අමතරව. ක්‍රීඩකයින් සඳහා මෙන්ම ක්‍රිකට් ආයතනයට එරෙහිව විවිධාකාර විනය විරෝධී සහ මූල්‍ය චෝදනාවන් එල්ලවනු ලැබීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල මණ්ඩලයක් පත්කරන ලද අතර එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ වාර්තාවක් එළිදක්වන ලදී. එම වාර්තාව නැවත වතාවක් මම සභාගත කරනවා අද.”
එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා එම පරීක්ෂණ වාර්තාවට අනුව තමන් විසින් පංච පුද්ගල කමිටු වාර්තාව ජනාධිපති වෙත යොමුකිරීම, එම පංච පුද්ගල වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම සිදුකළ බවද පැවසීය.
අනතුරුව තමන් විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර 2022 ලෝක කුසලාන සංචාරයට අදාළව ඒ අනුව විගණනය සිදුකළ බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ පූර්ණ එකඟත්වයෙන් 2018 වර්ෂයේ සිට 2023 දක්වා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදුකරන ලෙසට විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙස කථානායකවරයාගෙන් ආයාචනා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එසේම ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකරන ලද විගණන වාර්තාව සැප්තැම්බර් මස 19 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එය මෙතෙක් සභාගත කර නොමැති බවට අධිකරණයේදී ඊයේ දිනයේ නීතිඥයින් විසින් පවසා ඇති ප්‍රකාශය සාවද්‍ය බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මහජන ආරක්ෂක ඇමති, අධිකරණ ඇමති, පොලිස්පති, අල්ලස් කොමිසම, අපරාධ විමර්ශන ඒකකය, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය සහ නීතිපති වෙත ද විගණන වාර්තාව යොමුකර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
නීතිපතිවරයා මාස දෙකක් තිස්සේ මේ සම්බන්ධයෙන් පියවර නොගැනීමද ප්‍රශ්න සහගත බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිය ප්‍රකාශයේ සඳහන් කළේය.
මේ අතර තමන් විසින් එම විගණන වාර්තාව ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ද යොමුකර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු දූෂණ වංචාවන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah මහතාගේ කුඩයට ආවරණය වී ඇති බවටද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් චෝදනා කළේය.
එම සියලු පියවර ගැනීමෙන් අනතුරුව තමන් විසින් ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලය පත්කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයා තමන් පත්වීම ලබාගෙන පැමිණි පසු තමන්ට පැවසුවේ “රොෂාන් ක්‍රිකට් එක සුද්ද කරලා හදන්න” යනුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
තම අමාත්‍යාංශයට කිසිවෙකු ඇඟිලි ගැසීමකින් තොරව වැඩකිරීමට පමණක් තමන් කැමති බවද අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම ක්‍රිකට් ආයතනයේ දූෂණ වසන් කිරීම සඳහා නීතිඥ ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 346ක් වියදම් කර ඇති බවද විගණන වාර්තාවෙන් හෙළිවී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.