අනුරාධපුර, තලාව නගරයේ දී ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී බවුසර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණේ ඊයේ (10) රාත්‍රී 7.00ට පමණය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක් වන ඩබ්ලිව්. නිසල්යා නෙත්සරණී විමලසේන නම් දියණියකි.
ඇය ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටි ශිෂ්‍යාවක් බව ද අනාවරණය වී තිබේ.
කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරෙමින් තිබූ ඉන්ධන රැගත් බවුසරයක තලාව නගරයේ පිහිටි වටරවුමේදී දකුණු දෙසින් පැමිණි යතුරුපැදිය ගැටී අනතුර සිදුව තිබුණි.
යතුරුපැදියේ මියගිය දැරිය සහ ඇගේ මව සිට ඇති බවට අනාවරණය වී තිබේ.
යතුරුපැදිය, බවුසර් රථයේ ගැටීමත් සමඟ දියණිය බවුසර් රථයේ රෝදයට යටවී හිසට බරපතළ හානී සිදුවී ඇති අතර තුවාලකරුවන් දෙදෙනාම තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් දියණිය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මවට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර, ඇය මේ වනවිට නිවසට ගොස් ඇතැයි ද වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් බවුසල් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජීවිතක්ෂයට පත් දැරියගේ මෘත දේහය මේ වන විට තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව දේහය පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පරීක්ෂණ සිදුකරයි.