කොළඹ කුරුඳුවත්ත ප්රදේශයේදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
සැකකරුව කොළඹ අංක 07 මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
ඊයේ සවස කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී සිදුවූ එම අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම ජීවිතක්ෂයට පත්විය.
අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි.
සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියා 25 හැවිරිදි වලස්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කර තිබේ.