පසුගිය ඉරිදා පස්වරුවේ මරදාන සරත් ෆොන්සේකා මාවතේ සිදුවූ වෙඩිතැබීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය 6 හැවිරිදි දැරියගේ දේහය ඇය පදිංචිව සිටි කොටහේන නිවස වෙත ගෙනැවිත් තිබේ.
මෙම වෙඩිතැබීමට සම්බන්ධ කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට මෙතෙක් හැකියාව ලැබී නැත.
මරදාන පොලිස් වසමේ සරත් ෆොන්සේකා මාවතේදී පසුගිය ඉරිදා පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබුණේ මනුෂ්‍ය ඝාතන ඇතුළු චෝදනා රැසක් එල්ල වූ 36 හැවිරිදි සැකකරුවෙක් ඉලක්ක කරගනිමිනි.
නමුත් වෙඩි ප්‍රහාරයෙන් අදාළ සැකකරුට තුවාල සිදුවු අතර අනපේක්ෂිත ලෙස ඔහුගේ 6 හැවිරිදි කුඩා දැරියත් වෙඩි ප්‍රහාරයට ලක්වුණි.
කඩිනමින් දැරිය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණත් ඇගේ ළය ප්‍රදේශයට වෙඩිවැදීම හේතුවෙන් එම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේය.
මියගියේ 6 හැවිරිදි අභිමානී තෙරුවන්දිකා නම් දැරියයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු දැරියගේ දේහය, පවුලේ සාමාජිකයින් වෙත භාරදීම සිදුකෙරුණි.
ඇගේ නිසල සිරුර කොටහේන පිහිටි නිවස වෙත රැගෙන විත් තැන්පත් කෙරුණේ ඊයේ (18) මධ්‍යම රාත්‍රීයේදීය.
දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ මාදම්පිටිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.