සියදිවි නසා ගැනීම (Suicide) පිළිබඳ සාකච්ඡා කළ හැකි සංදර්භයන් කිහිපයක්ම හඳුනාගත හැක. මූලික වශයෙන් ගතහොත් ලොව ඇති සෑම ආගමික භාවිතාවකම පාහේ, සියදිවි නසා ගැනීම පාප කර්මයක් නොඑසේ නම්, නොකළ යුත්තක් සේ හඳුන්වා ඇත. බහුතරයක් බෞද්ධයන් වෙසෙන ලාංකේය සමාජ සංදර්භය තුළ මෙම මාතෘකාව බරපතළව සංවාදයට ලක්වන අතර, බුදු දහමේ ඉගැන්වීම් තුළ දිවි නසා ගැනීම පැහැදිලිවම නොකළ යුත්තක් සේ හඳුන්වා ඇත. සත්ත්වයාගේ ජීවිතය, ආත්මය හෝ භවය තුළ ඇති උපයෝගිතාව නොඑසේ නම් ළගා විය හැකි උපරිම ස්ථානයට ළඟා නොවී අකාලයේ ජීවිතය හැර යාම නොකළ යුත්තක් බව එහි සඳහන්ය. සනාතන විමුක්තිය ලැබීම සත්ත්වයාගේ ඉහළම ජයග්‍රහණය බව බුදුදහම අවධාරණය කරයි. එබැවින් කිසිවකුට හිතාමතා ජීවිතයෙන් පළා යා නොහැක. සත්ත්වයා ජන්ම පාපය සහිත ව ඉපදී ඇති බව බයිබලය දක්වයි. එකී ජන්ම පාපයෙන් මිඳීමට නම් පාපයෙන් මිඳී දෙවියන් හා එකතු විය යුතුය. ඉස්ලාමයේ ද එය එසේ සඳහන්ය. හින්දු පදනම තුළ එය බ්රහ්මාස්වාදය හෙවත් මහා බ්‍රහ්මයා හා එකතු වීම ලෙස දක්වා ඇත. එනයින් සෑම ආගමික භාවිතාවක් තුළම සත්ත්වයා විසින් අත්පත් කරගත යුතු පරමාදර්ශයන් දක්වා ඇත. එකී පරමාදර්ශය අත්පත් කරගැනීම පහසු කටයුත්තක් නොවේ. එය ආධ්‍යාත්මික සංවර්ධනයකින් ඉහළට පැමිණීමේ ප්රතිඵලයකි. එසේ නම්, කිසිවකුට ඉන් මිඳී සිය ජීවිතය අකාලයේ අතහැර දැමිය නොහැක.
මේ පිළිබඳ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දෙ ධම්මානන්ද හිමි දැරුවේ මෙවන් අදහසකි,
”මනුෂ්‍යත්වයේ වැදගත්කම ගැන හැම ආගමකම අවධාරණය කරලා තියෙනවා. කාටවත් බෑ තමංගේ ජීවිතය නැතිකරන්න. මාව නැතිකරගන්න මටවත් අයිතියක් නෑ. රෝහල, පාසල, විශ්වවිද්‍යාලය වගේ හැම ආයතනයක්ම එකතු වෙලා තමා මාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හැම සේවයක්ම, ඒ හැම සේවකයෙක්ම, නිලධාරියෙක්ම කැපවෙලා, මහන්සි වෙලා තමා මනුස්සයෙක් නිර්මාණය කරන්නේ. ඒ නිසා කාටවත් බෑ තමංව නැති කරගන්න”
”ආගමික ආයතන තියෙන්න ඕනේ මානසික සුවය වෙනුවෙන් කියලා හිතුවට, අපිට පේනවා දැං දැං ආගමික ආයතනත් වාණිජකරණයට ලක් වෙලා කියලා. තරුණයෝ ආගමික ආයතනවලට නොයන්න බලපාන ප්‍රධාන හේතුවක් තමා ඒක. මනුස්සයෙකුට ගිහිල්ලා තමංගෙ මානසික වේදනාවක් කියන්න තරම් සුදුසු තැනක් ද ආගමික ආයතන කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ආගමික සම්ප්‍රධාය ඇතුළෙ තියන දාර්ශනික තත්ත්වයන් සමාජගත කරන එක තමා වැදගත්ම කාරණය”
සියදිවි නසාගැනීමේ අයුත්ත හා ඒ පිළිබඳ ලෞකික කියවීමක්
ලෞකික පදනම තුළ ද සියදිවි නසා ගැනීම විවේචනාත්මක රචනාවලින් ගහණ වූ එකකි. සමාජ විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල මෙය සපුරා අකටයුත්තක් සේ හඳුන්වා ඇත. දිවි නසා ගැනීම පිළිබඳ මාතෘකාව දීර්ඝ ඉතිහාසයක් සහිත එකක් බව හඳුනාගත හැකිය. මින් සරලව අදහස් කෙරෙන්නේ, තමා විසින්ම තමා ඝාතනයට ලක්කර ගැනීමයි.
තනි තනි ව සියදිවි නසා ගැනීම් මෙන්ම සමූහ වශයෙන් දිවිනසා ගත් සිදුවීම් ද ඉතිහාසය තුළ ඕනෑ තරම් හඳුනාගත හැකිය. ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් දිවි නසා ගත්තේ තනිවය. ශ්‍රේෂ්ඨ කෙටිකතාකරුවකු වන ගී ද මෝපසාං උන්මත්තකාගාරයක් තුළ දිවි නසා ගැනීමට කළ උත්සාහයකින් පසු මිය ගියේය. බොලිවුඩ් නළුවකු වූ සුශාන්ත් රාජ්පුත් සිං මෙන්ම ලංකාව රංගන ශිල්පියකු ද එකම කාලයක දිවි නසා ගත් සිදුවීම් මාධ්‍යය වාර්තා කළේය. මේ අතර, හොකොං හී සුප්‍රකට පොප් ගායිකාවක වන කොකෝ ලී මීට දින කිහිපයකට පෙර දිවි නසා ගත් බව වාර්තා විය.
සමූහ වශයෙන් සියදිවි නසා ගත් සිදුවීම් ද ඉතිහාසය පිරික්සීමෙන් හඳුනාගැනීම අපහසු නැත. මෑත කාලයේ දී එක් කෙන්යානු දේවගැතිවරයකු සිය බැතිමතුන්ට නිරාහාර ව සිටීමට උපදෙස් දී දිවි නසා ගැනීමට නියෝග කර තිබිණි. එම සිදුවීමෙන් පුද්ගලයන් 300 දෙනෙකු දිවිනසා ගත් බව මාධ්‍යය වාර්තා කළේය. එවැනිම ආකාරයට එක්වර පුද්ගලයන් දහස් ගණනක් දිවි නසා ගත් සිදුවීමක් 20 වන සියවසේ දී වාර්තා විය. එම සිදුවීමෙන් එක්වර පුද්ගලයන් දහසක් පමණ මිය ගිය බව සඳහන්ය. 2018 වසරේ ජූලි 01 වනදා අසල්වැසි ඉන්දියාවට අයත් නව දිල්ලියේ බුරාරි ප්‍රදේශයේ නිවසක, එකම පවුලේ 11 දෙනෙකු කාමරයක් තුළ ගෙල වැල ලාගෙන සියදිවි නසාගත් සිද්ධිය ලෝකයම කම්පා කළේය.
එකම පවුලේ පස් දෙනෙකු දිවිනසා ගත් එප්පාවල සිද්ධිය
එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක් තුළ ඉකුත් 02 වනදා 24 හැවිරිදි තරුණයකු ගෙල වැල ලාගෙන සියදිවි නසාගෙන තිබිණි. නමුත් මෙම සිදුවීමේ ඇති ඇදහිය නොහැකි කාරණය වන්නේ, මෙම පවුලේ සහෝදරයන් සිව්දෙනෙකුම මීට පෙර අවස්ථා හතරක දී සියදිවි නසාගෙන තිබීමය. අවසන් වතාවට සියදිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනකු හා සොයුරියක ද මීට පෙර සියදිවි නසාගෙන ඇති බව පොලිසිය වාර්තා කළේය. මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරකු හා සොයුරියක තලාව ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවත් මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙල වැල ලාගෙන තවත් සොයුරකු දිවි නසාගෙන ඇති බවත් මෙම සිදුවීමේ ඉතිහාසය තුළ වාර්තා වී ඇත. ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳ එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි. එසේම මීට පෙර අවස්ථාවල දී මියගිය පුද්ගලයන්ගේ දිවි නසා ගැනීම්වලට හේතුව පොලිසිය විසින් අනාවරණය කරගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය. දැනට මෙම සිදුවීම පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරියා දැනුම්වත් කර ඇති බවත් ඒ පිළිබඳ උපදේශන කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ඔහු අවධාරණය කළේය. එසේම, වාර්තා වන පරිදි මෙම පවුල අධ්‍යාපන මට්ටම එතරම් ඉහළ නොවන සාමාන්‍ය පවුලක් බව ද ඔහු පැවසීය.
මේ සිද්ධියට අදාළ පළුගස්වැව ග්‍රාම නිලධාරී නිල්මිණී දිසානායක මහත්මියගෙන් අප කළ විමසීමක දී ඇය සඳහන් කළේ, මෙම පවුල අඩු ආදායම්ලාභී පවුලක් වන බවය. එසේම අවසාන වතාවට සියදිවි නසා ගත් තරුණයාට යම් මානසික ආබාධයක් පැවති බවට වාර්තා වන බව ද ඇය පැවසීය.
මේ පිළිබඳ අද දෙරණ වාර්තාකරුගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, මෙම පවුලේ සියලු දෙනාට මානසික ආතතිය දරාගැනීමට නොහැකි තත්ත්වයක් තිබී ඇති බවයි. මෙම දරුවන් සියලු දෙනාම සිය මව සමඟ විවිධ අවස්ථාවල දී ගැටුම් ඇතිකරගෙන තිබූ බවත් එම ගැටුම් නිසා ඇතිවූ සිත්තැවුල් හේතුවෙන් මෙම දිවි නසාගැනීම් සිදු ව ඇති බවත් ඔහු පැවසුවේය. එම ගැටුම්වල යටගියාව පිළිබඳ විමසීමේ දී පැහැදිලි වන කරුණක් වන්නේ, ඒවා සියල්ල ම පාහේ දරිද්‍රතාව හේතුවෙන් ඇතිවූ ගැටුම් වන බවය. සියදිවි නසා ගැනීම් සඳහා බලපාන කරුණු අතරට දරිද්‍රතාව ප්රමුඛව බලපාන බව මෙනයින් හඳුනාගත හැකිය.
එප්පාවල සඳරැස්ගම් පවුලේ මියගිය දරුවන් 05 දෙනා,
* වසර 18කට නිලූකා නිල්මිණී සහ තවත් සහෝදරයකු දුම්රියට පැන දිවි නසාගෙන ඇති අතර, නිලූකා පෙම් සබඳතාවක් නිසා මෙම තීරණය ගෙන ඇත.
* අවුරුදු 15කට පෙර රුවන් කුමාර නම් පිරිමි දරුවකු නිවස පිහිටා ඇති ගෙවත්තේම ගෙල වැල ලාගෙන මියගොස් ඇත.
* මීට වසර 10කට පෙර අසංක ප්‍රදීප් නම් පිරිමි දරුවකු මෙම නිවසේදීම ගෙල වැල ලාගෙන මියගොස් ඇත.
* අවසන් වරට තුසිත සම්පත් නම් 24 හැවිරිදි තරුණයා නිවසේ දී ගෙල වැල ලාගෙන මියගොස් ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රුමී රූබන් මහතා,
” ජානමය හේතු නිසාත් විශාදය වගේ රෝග ඇතිවෙන්න පුළුවන්. සමහර අයගේ ජානවලම තියෙනවා, ජීවිතය නැති කරගන්න හිතෙන ජාතියේ මොළය අක්‍රීය වීම්. ඒ නිසා එහෙම හේතු මුළු පවුලටම පොදු වුණ කාරණා විදියට එන්න පුළුවන්. මොකද ඒවා එන්නේ ජානමය වශයෙන් නිසා. පවුලේ එක්කෙනෙක් සියදිවි නසාගත්තට පස්සේ, අනිත් අයට දැනෙන වේදනාවත් මේකට එක හේතුවක්. ”අනේ අපිට අරයව බේරගන්න බැරිවුණානේ” වගෙ දේවල් හිතිලා දුකක්, කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම පවුලෙං එක්කෙනෙක් තනිවුණාමත් මෙහෙම වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ හැමෝම කතා වෙලා සාමුහික ව තීරණය කරලා දිවි නසාගත්ත අවස්ථාත් වාර්තා වෙනවා”
ශ්‍රී ලංකාවේ ආසන්නතම සිදුවීම් කිහිපයක්
ගතවූ වසරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගන්නා සිදුවීම් සුලබ ව වාර්තා වන අයුරක් පෙනෙන්නට තිබේ. ඒ සමඟම විශාදය නම් මානසික අවපීඩන තත්ත්වය පිළිබඳ සාකච්ඡාව ද මතුවෙමින් පවතියි. ඒ අතරින් විශ්වවිද්‍යාල සිසුන් දිවි නසා ගත් සිදුවීම් ගණනාවක්ම පසුගිය සමයේ අසන්නට දකින්නට ලැබිණි. ගතවූ වසරක කාලය තුළ පේරාදෙණි සරසවියේ පමණක් දිවි නසා ගත් සිද්ධීන් ගණනාවක් වාර්තා විය. ඒ අතරින් සිදුවීම් දෙකක් වාර්තා වී තිබුණේ, මහවැලි ගඟට පැන දිවි නසා ගත් සිසුන් දෙදෙනෙකු පිළිබඳවය. තවත් අවස්ථාවක දී ඉන්ජිනේරු පීඨයේ සිසුවකු සේනක බිබිලේ ශාලාවේ කාමරයක ගෙල වැල ලාගෙන දිවි නසාගෙන තිබිණි. තවත් ඉන්ජිනේරු පීඨ සිසුවකු අක්බාර් ශාලාවේ නාන කාමරය තුළ ගෙල වැල ලාගෙන දිවි නසාගෙන තිබිණි. තවත් එක් ශිෂ්‍යාවක් ඖෂධ අධිමාත්‍රාවකින් ගැනීම නිසා සිය දිවි නසා ගත් බවට සැක කළ හැකි පරිදි ජීවිතක්ෂයට පත් වී තිබිණි. මේ අතර, යාපනය සරසවියේ හා ජයවර්ධනපුර සරසවියේ ද ශිෂ්‍යයන් දෙදෙනෙක් සිය නේවාසිකාගාරවල ගෙල වැල ලාගෙන මියගොස් සිටියහ. එසේම සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් ක්‍රියාකළ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් තරුණයකු ද මීට මාස කිහිපයකට පෙර දිවි නසා ගත්තේය. මෙම සිදුවීම් සියල්ල සිදු ව තිබුණේ, වසරකට වඩා අඩු කාලපරිච්ඡේදයක් තුළ වීම විශේෂත්වයකි. එසේම මෙම මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තරුණයන්ගේ මරණ වීම ද බරපතළ ලෙස කියවාගත යුතු සමාජ විද්‍යාත්මක කතාවකි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුමී රූබන්,
”පහුගිය කාලෙ තරුණ තරුණියන් වගේම උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයොත් සියදිවි නසාගන්න සිදුවීම් ගණනාවක්ම වාර්තා වුණා. ඒ වාර්තා අරං බැලුවම පේනවා, තරුණ ප්‍රජාව ලොකු මානසික පීඩාවකින් පෙළෙනවා කියලා. මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. ආර්ථික අර්බුදය, පාඨමාලා නම්‍යශීලී නොවීම, නවක වදය වගේ තත්ත්වයන් මේකට හේතුවෙන්න පුළුවන්. මේ වගේ පීඩාවන් දිගින් දිගටම තිබුණම ඒවට මුහුණ දෙන්න ආත්ම ශක්තිය නැති අය සියදිවි නසාගන්න පෙලඹෙනවා. විශේෂයෙන්ම විශාදය වගේ රෝග තියන අයට මේක දරාගන්න බෑ. එයාලට අසුබවාදී සිතුවිලි දැනෙනවා. අසාර්ථක බවක් දැනෙනවා. තමංට කවුරුත් නෑ කියලා දැනෙනවා. කොච්චර ඉගෙන ගත්තත්, විශ්වවිද්‍යාලයට ගියත් විශාදයෙන් බේරෙන්න බැරිවෙන්නේ ඒ නිසා. ජීවිතයෙන් පළා යන එක, ජීවිතය නැතිකරගන්න එක විසඳුම විදියට මේ අය දකිනවා. ඒ නිසා ප්‍රශ්න ඔරොත්තු දෙන්නෙ නැති අය තමා මේ වගේ දේවල්වලට යන්නේ. ඒත් බහුතරයක් දෙනා මේවට සාර්ථක විසඳුම් හොයාගන්නවා”
ශ්‍රී ලංකාවේ වාර්තා වූ ආසන්නතම සිදුවීමක් ලෙස අගෝස්තු 09 වනදා උදෑසන මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියට පැන තරුණියක් ජීවිතක්ෂය පත්වූ සිදුවීම හඳුනාගත හැක. තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි කනපති අනුෂා දර්ශනි නැමති 28 හැවිරිදි තරුණියක් මෙසේ මියගිය අතර, ඇය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කළ අයෙකි. තමාව හමුවීමට සිය පෙම්වතා පැමිණෙන බව පවසා තිබුණ ද ඔහු නොපැමිණි නිසා ඊට උරණ වූ තරුණිය මෙසේ දිවි නසාගෙන ඇති බව පොලිසිය වාර්තා කර තිබිණි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ගල්කන්දේ ධම්මානන්ද හිමි,
”මේක ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. යම් සමාජයක් එකවර වෙනස් වෙනකොට ඒක මිනිස්සුන්ට තදින් බලපානවා. නෑදෑයන් මිතුරන් එක්ක ගත කරන ජීවිතේ ඇතුළෙ පීඩාවන් ඉතා අඩුයි. ඒත් ඊට වඩා වෙනස් වුණ නාගරික ජීවිතයක් තමා දැං තියෙන්නේ. පවුල් සබඳතා, මිත්‍ර සබඳතා අඩු වීම නිසා ඇතිවෙන මානසික අවපීඩනය කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක් තමා දැං තියෙන්නේ. තමංගෙ සමීපම කෙනෙක්ට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම්, අපි ඒක හරියට දකින්නේ නෑ. මානසික පීඩනය, මානසික ආතතිය කියන එක ලැජ්ජාවට හේතුවෙන කාරණයක් නෙවෙයි. සමාජයේ වෙන වෙනස්කම්වලට සාපේක්ෂව අපිට පුළුවන් වෙන්න ඕනේ ඒවා කළමනාකරණය කරගන්න. විශේෂයෙන් කියන්න ඔනේ කොරෝනා වසංගතය ගැන. කොරෝනා වසංගතය නිසා මිනිස්සුන්ගෙ සියලු දේවල් ජංගම දුරකථනයට සීමා වුණා. මේ මානසික පීඩනයට ඒකත් එක හේතුවක්”
”යම් කෙනෙක් මානසික පීඩාව නිසා හෝ විශාදය නිසා හෝ සියදිවි නසා ගත්තම, සමාජයක් විදියට අපි ඒ දිහා බලන විදිය වැරදියි. අපි ඒක වෙනස් කරගන්න ඕනේ. මිනිහෙක් සියදිවි නසාගන්න බලපාපු ඇත්තම හේතුව හොයාගන්න ඕනේ. ඇත්තම හේතුව හොයාගන්නෙ නැතුව වෙනත් දේවල් කියලා වැඩක් නෑ. සියදිවි නසාගන්න කෙනා එක සැරේ ඒ තීරණය ගන්නේ නෑ. එයා ඉවසලා ඉවසලා බැරිම තැන තමා ඒ තීරණය ගන්නේ. ඒ මනුස්සයගේ මරණය ගැන අපි නොදකින දිගු ඉතිහාසයක් තියෙන්න ඕනෙ. අන්න ඒක අපි හොයාගන්න ඕනේ. සමාජයක් විදියට අපි මේක දිහා අලුත් විදියකට බලන්න ඕනේ. මනෝ උපදේශයනයට යන එක ලැජ්ජාවක්, වැරැද්දක් කියලා දකින්න හොඳ නෑ”
”අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, මනස නිරෝගීව පවත්වාගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් කියන එක. මගේ වටේ ඉන්න අය පස් දෙනෙක් දිහා මට අවධානයෙන් බලං ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අනිත් කෙනාගෙ දේ අපිට දැනෙන්න ඕනේ. සාමුහිකත්වය, කල්‍යාණ මිත්‍රත්වය වගේ දේවල් ගොඩක් වැදගත් කරලා සලකන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ, මනෝ උපදේශනය කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙවෙයි කියන එක”
තාක්ෂණයේ භාවිතාව, අවභාවිතාව සහ සමාජයේ සංකීර්ණතා
තාක්ෂණය සහ සමාජ මාධ්‍යය ශීඝ්‍රයෙන් තරුණයා අතර ප්‍රචලිත වීම යන කාරණය ද සියදිවි නසා ගැනීම්වලට හේතු වන්නක් බව බැහැර කළ නොහැකි සත්‍යයකි. විවිධ සිදුවීම් හා ඒවායේ අභ්‍යන්තරය විමසීමේ දී ඒ බව පැහැදිලි කරගත හැකිය. විශේෂයෙන් ප්‍රේම සබඳතා, අනියම් සබඳතා ආදිය නිසා සිදුවූ දිවි නසා ගැනීම් බොහෝමයක සුළමුළ විමසීමේ දී ඒවායේ මූල බීජයන් සමාජ මාධ්‍යය හා බැඳී ඇති බව දැකගත හැකිය. සමාජ මාධ්‍යය තුළින් මිතුරු වී ඇතිකරගත් සබඳතා නිසා ඇතිවූ ගැටුම් හා ඒ හේතුවෙන් සිදුවූ දිවිනසාගැනීම් විවිධ අවස්ථාවල දී වාර්තා වී තිබේ.
තාක්ෂණය සමඟ සෙසු සමාජ තත්ත්වයන් හා සම්බන්ධ වූ සමබර ජීවිතයක් වත්මන් තරුණයාට උරුම නොවීමේ ඛේදවාචකය මෙය බැව් පැවසීම අසාධාරණ නැත. සංස්කෘතික විඳීම්, ආගමික ලැදියාවන්, ළමා කාලය, මිත්‍ර සන්ධාන, ක්‍රීඩාව, සාහිත්‍යය ඈ ආදී බොහෝ තත්ත්වයන් අභිභවා තරුණයාගේ දිවිය සමාජ මාධ්‍යයට පමණක් රාමුවීමේ අවසානය මෙය විය නොහැකි ද? මිනිසාට අවැසි සියලු අද්දැකීම් සමාජ මාධ්‍යයෙන් ගතහැකි යැයි සිතීම මිත්‍යාවකි. ක්‍රීඩා පිටිය තුළ ඇති අද්දැකීම පරිගණක ක්‍රීඩාවක නැත. ගමේ පොදු කටයුත්තක නිරත වීමෙන් ලබන සජීවී මිනිස් ඇසුර ෆේස්බුක් හෝ වට්සප් සමූහයකින් ලද නොහැක. නමුත් අද්‍යතන තරුණයාගේ බහුතරයක් වූ මිනිස් බැඳීම් ඇත්තේ, කෘත්‍රීම ජංගම දුරකථනයේ යෙදවුමක් තුළය. එය ස්වභාවධර්මය ඉක්මවා යෑමකි. එහි අවසානය මානසික ආබාධයක් නිසා ඇතිවූ මරණීය තත්ත්වයක් ද විය හැකිය.
මනෝ වෛද්‍ය රුමී රූබන්,
”අන්තර්ජාලය, තාක්ෂණය වගේ ඒවගේ වාසි වගේම අවාසිත් තියනවා. තාක්ෂණය ඥානවන්තව භාවිත කරනවා නම් ප්‍රශ්නයක් නෑ. යහළු යෙහෙළියන්, නෑදෑයන් වගේ මානුෂීය සබඳතා දුරස් වුණාම ඒවා ළංකරගන්න තාක්ෂණය ඉතා හොඳ මෙවලමක්. නමුත් සබඳතා සජීවී ලෙස, සැබෑ ලෙසම තියාගන්න එකත් අත්‍යවශ්‍යයි. දැං තියන ප්රශ්නය තමා, මිනිස්සු වැඩි කාලයක් තාක්ෂණයට ගිහිං තියන එක. සජීවී හමුවීම්, සම්බන්ධතා ඇතුළේ සැබෑ ලෝකයේ හැඟීම්, අන්‍යෝන්‍ය අවබොධය ඇති වෙනවා. නමුත් තාක්ෂණය ඇතුළෙ තියෙන්නේ, කෘත්‍රීම සම්බන්ධයක්”
”තමං එක්ක එකට ඉගෙන ගන්න අය ගැන, පවුලෙ අය ගැන අපි අවදියෙන් ඉන්න ඕනේ. මානසික පීඩන තත්ත්වයන් මුල් අවස්ථාවේම හඳුනාගත්තොත් අවදානම් වළක්වා ගන්න පුළුවන්. කවුරුහරි කෙනෙක්. කළකිරිලා, සමාජයෙන් ඈත වෙලා, වැඩිය කතා කරන්නේ නැතුව, අධ්‍යාපනය මඟඇරලා ඉන්නවා නම් එයා එක්ක කතා කරලා එයාට ඇහුම්කං දෙන්න ඕනේ. මානසික රොග ලක්ෂණ තියනවා නම්, සියලු දේ එපා වෙලා නම්, ජීවිතය එපා වෙලා නම්, ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයයි”
සියදිවි නසා ගැනීම සඳහා හේතුභූත වන්නා වූ සාධක එකක් නොව කිහිපයක්ම ඇති බව මෙනයින් වටහා ගැනීම අපහසු නැත. ශිෂ්ට වූ සමාජයක යහපත් ලක්ෂණයක් ලෙස, මානසික පීඩන ඇති පුද්ගලයන් නිවැරදිව කියවාගැනීමට දරන මානවීය උත්සාහයන් හඳුනාගත හැකිය. එබැවින් මානසික පීඩන තත්ත්වයන්, ඒවාට හේතු, හේතු නැති කිරීම සහ අවසාන වශයෙන් සියදිවි නසා ගැනීම් අවම වූ සමාජ දේහයක් උදෙසා අවැසි වැදගත් සංවාදයක බරපතළ අවශ්‍යතාව අප පැහැදිලි කරගත යුතුය.
ඔබත් මානසික අවපීඩනයකින් පෙළෙනවා නම් පහත දුරකථන අංක අමතන්න,
මානසික සෞඛ්‍ය විද්‍යායතනය
1926 / 0113 140 844