දකුණු ආසියානු කලාපය තුළ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩු ම ආදායමක් ඇති රට වන්නේ ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
එම ආයතනය පෙන්වා දෙන්නේ, ගත වූ 17 වසර තුළ ශ්‍රී ලංකාව දිගින් දිගටම සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවයි.
ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනක් තුළ සිටින අතර, ආදායම ඉහළ නංවා ගන්නා බවට වන එකඟතාවක් ද ඊට ඇතුළත්.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් ඉලක්ක සපුරා ඇත්තේ අවස්ථා 12 කින් අවස්ථා 03 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.
එම ආයතනය පවසන්නේ, රාජ්‍ය ආදායම ඉපැයීමේදී බදු ආදායම සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන අතර, මේ වසරේ බදු ආදායම ලෙස රුපියල් බිලියන 3,130 ක බදු ආදායමක් උපයාගත හැකි බවට රජය ගණන් බලා ඇති බවයි.
කෙසේවෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය වන්නේ මේ වසර අවසානය වනවිට ශ්‍රී ලංකාව රජයේ පුරෝකථනයට වඩා අඩු අගයක් හෙවත්, රුපියල් බිලියන 2,940 ක බදු ආදායමක් උපයනු ඇති බවයි.
නමුත්, වසරේ පළමු කාර්තුව තුළ සත්‍ය බදු ආදායම ලෙස හිමිකරගෙන ඇත්තේ, රුපියල් බිලියන 578 ක් පමණක් බව පෙන්වා දෙන වෙරිටේ රිසර්ච් ආයතනය ඒ අනුව වසර අවසානය වනවිට උපයාගත හැක්කේ රුපියල් බිලියන 2,762 ක බදු ආදායමක් පමණක් බව පවසනවා.
එම ආයතනය පෙන්වා දෙන්නේ, මේ වසරේ අපේක්ෂිත බදු ආදායම් වර්ධනය 4%ක් පමණක් බවයි.
දුර්වල ඇස්තමේන්තුකරණය හා නිරන්තර බදු වෙනස් කිරීම්, බදු පදනම බිඳ වැටීම, අධික බදු සහන ලබා දීම ආදිය මත රාජ්‍ය ආදායම හා සම්බන්ධ ගැටලු රැසක් උද්ගතව ඇති බව ද එම ආයතන පෙන්වා දෙනවා.
වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට මසක පමණ කාලයක් පමණක් ඉතිරිව තිබියදී තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කැපවීම්වලින් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණකර නොමැති බවයි.