සිය පුත්‍රයාව ඔහුගේ පෙම්වතියගෙන් මුදවාදෙන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් දීමට උත්සාහ කළ පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) පස්වරුවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ, ගලේවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදීය.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි මොහිදීන් මොහොමඩ් නැමැති 64 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ පුතෙකු ගලේවෙල ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට පැමිණ සිටින බව ප්‍රකාශ කරමින් තම පුත්‍රයා එම නිවසෙන් රැගෙනවිත් තමා වෙත භාර දෙන ලෙස ඉල්ලා මෙම අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එහිදී සැකකරු, තමන්ගේ පුත්‍රයා ගලේවෙල ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසේ රැඳී සිටින බවත් ඔවුන් ගෙන්වා අවවාද කොට පුත්‍රයා තමා වෙත ලබා දෙන ලෙසත් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ගලේවෙල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා ගලේවෙල පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා කැඳවා එම පැමිණිල්ල සටහන් කොට විමර්ශනයක් කරන ලෙස උපදෙස් ලබා දී තිබිණි.
එම අවස්ථාවේදී සැකකරු විසින් ස්ථානාධිපතිවරයා පොලිසියේ පොතක් කියවමින් සිටියදී යම් කවරයක් ස්ථානාධිපතිවරයාගේ පොත අස්සට දමා ඇත.
පසුව ස්ථානාධිපතිවරයා එය විවෘත කර බැලීමේදී රුපියල් 5,000 නෝට්ටුවක් හමුවී මෙම මුදල් කුමකටදැයි සැකකරුගෙන් ප්‍රශ්න කොට තිබේ.
පසුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමාගේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා සන්තෝෂම් මුදලක් ලෙස එය ලබාදීමට තමා උත්සාහ කළ බවය.
එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා, ගලේවෙල පොලීසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කැඳවා රාජකාරියට බාධා කිරීම් සහ අල්ලස් ලබාදීමට උත්සාහ කිරීම් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳ ගලේවෙල පොලිසියේ අපරාධ අංශය පරීක්ෂණ ආරම්භකොට ඔහු පිළිබඳ දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (23) කරුණු වාර්තා කිරීමට නියමිතය.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට විමර්ශනයක් කරන ලෙස දන්වා ඇති බවද පොලීසිය පවසයි.