තෙල්දෙණිය කෙන්ගල්ල ප්රදේශයේ වාහන අංගනයකින් කොල්ලකන ලද ජීප් රථ 03ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඊයේ (29) අලුයම කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම කොල්ලය සිදුකර ඇත.
එහිදී අදාළ වාහන අංගනයේ සිටි සේවකයින් දෙදෙනෙකු බියවද්දා බැඳ දමා සැකකරුවන් වාහන 04ක් කොල්ලකා පළාගොස් ඇත.
පොලීසිය පවසන්නේ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 03ක් සහ වෑන් රථයක් මෙලෙස කොල්ලකා රැගෙනගොස් ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසියට ලද තොරතුරකට අනුව කඩිනමින් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහිදී වත්තේගම ප්රදේශයේ නිවසක් පිටුපස ගරාජයක තිබී කොල්ලකන ජීප් රථ 03න් 02ක් සොයාගෙන ඇත.
පොලීසිය පවසන්නේ එම අවස්ථාවේදී සැකකරුවන් තිදෙනෙකු සමග කොල්ලය සඳහා පැමිණි කැබ් රථයද පොලීසිය භාරයට ගෙන ඇති බවය.
වත්තේගම පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තෙල්දෙණිය පොලීසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27,32 සහ 34 යන වයස්වල පසුවන ගුන්නෑපාන, දොරගමුව සහ රජවැල්ල යන ප්රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.
එසේම ආදාළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිස් වසමේ පන්නිල ප්රදේශයේදී කොල්ලකන ලද අනෙක් ජිප් රථය සමඟ තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එම සැකකරු 28 හැවිරිදි වියේ පසුවන වතුපිටිවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එම සැකකරුද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.