පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් 23 හැවිරිදි තරුණයකු ත්‍රිරෝද රථයක නංවා බලහත්කාරයෙන් පැහැරගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලීසිය පවසනවා.
පැහැරගෙන යමින් සිටියදී මෙසේ මුදා ගෙන ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මෙම තරුණයා පිටකොටුව බැස්ටියන් මාවත ඔස්සේ පාගමනින් ගමන් කරමින් සිටියදී දුම්රිය ගබඩා සංකීර්ණය ආසන්නයේ දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමන් පොලිස් නිලධාරීන් බව පවසා එම තරුණයාව නතර කරගෙන එම තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහු ළඟ මත්ද්‍රව්‍ය ඇත්දැයි පරික්ෂා කර බැලීමට පොලිසියට රැගෙන යෑමට අවශ්‍ය බවත් පවසා බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට දමාගෙන පැහැර ගෙන යමින් සිට ඇතැයි පොලිසිය පවසනවා.
එම අවස්ථාවේ දී බෝගහ අසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් මෙම ත්‍රිරෝද රථය නතර කර තිබෙන අතර, ත්‍රිරෝද රථය තුල සිටි තරුණයා තමන්ව මෙම පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන යන බව එම නිලධාරීන්ට පවසා තිබෙනවා.
එහි දී එම තරුණයා පොලිස් නිලධාරීන් විසින් මුදා ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.