මුරුක්කන් පොලිස් වසමේ අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
එම රෝහලේ වෛද්‍ය නිලධාරිණිය විසින් ඊයේ (17) මුරුක්කන් පොලිස් ස්ථානයට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය තැනැත්තා වයස අවුරුදු 25ක් වන අච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම ප්‍රදේශයේ තරුණයෙකු හා තරුණියක් අතර තිබූ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණියගේ පියා ඇතුලු පිරිසක් විසින් එම තරුණයාට හා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහර දී ඇති අතර එහිදී පහර කෑ වැඩිමහල් සහෝදරයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය තරුණයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.
අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුරුක්කන් පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.