සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම තුළින් පිළිඹිබු වන්නේ සමාජය තුළ පවතින ප්‍රචණ්ඩකාරී මානසිකත්වය බව මනෝ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පාසල්වල සම්පත්වලට සහ රජයේ දේපලවලට හානි කිරීම මෙන්ම ගැටුම්කාරි තත්ත්වයන්ට මැදිවූ අවස්ථාවන් කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා වුණා.
දිඹුලාගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පන්ති කාමරවල විදුලි පංකා සහ දොරවල් කඩා බිඳදමා ගොස් තිබූ අතර, එහි විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබුණා.
එසේම, කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් පසුගියදා සිසුවෙකුට විකට් පොල්ලකින් පහරදීම හේතුවෙන් සිසුවා රෝහල් ගත කළ අතර, අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙස බලා යමින් සිටි සිසුවියකට ඇගේ පෙම්වතා තියුණු ආයුධයකින් පහර දී තිබූ සිද්ධියක් ද මහනුවර දැන්පිටිගම ප්‍රදේශයෙන් වාර්තා වුණේ එවන් පසුබිමකයි.
විභාගය නිම වී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ සිසුවෙකු අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබූ අතර, විභාගය නිම වූ පසු පාසලට වැඳ නමස්කාර කළ සිසු සිසුවියන් පිරිසක් පිළිබදව ද සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් හිමිවුණා.
කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ දරුවන්ගේ ප්රචන්ඩත්වයට අධ්‍යාපන බලධාරීන් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි.