එජාපයේ නායකත්ව තීන්දුව ගන්න මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

0
15

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් අද(16) පැවැත්විමට නියමිතව තිබේ.

අද පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්විම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ(15) පැවැත් විය.

එම සාකච්ඡාවට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

නායකත්වය සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමට අවධානය යොමු වු බවත් පැවසු මන්ත්‍රීවරයා, රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායක්තවය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟත්වය පළ කළ හැකි බවත් පැවසීය.

අද පැවැත් වෙන රැස්වීමෙන් අනතුරුව එය දැන ගැනීමට හැකි බවත්, සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය තුළත් සජිත් ප්‍රේමදාස මහතා විශාල ජයග්‍රහණයක් ලැබු බවත් පැවසු ඒ මහතා, රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කියා සිටියේය.

පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් නොවිය යුතු බවට වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ඊයේ දිනයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, නීති හදන්නෙත් වෙනස් කරන්නෙත් අපි බවයි.

වජිර මන්ත්‍රීවරයා මතය හෝ වෙනත් මතයක් නොව පක්ෂයක් තුළ වැදගත් වන්නේ බහුතර මතය බවත් කියා සිටි ඒ මහතා, පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය තීරණය කළ නොහැකි බවත් පැවසීය.

ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට 2018 තීරණයක් ගත් බවත් එය අද වන විට අමතක වී ඇති බවත් පැවසු හර්ෂ ද සිල්වා මහතා “ අපි හදපු ව්‍යවස්ථාව අපිට වෙනස් කරන්න බැරි නම් කාට ද වෙනස් කරන්න පුළුවන් “ යනුවෙන් ද ප්‍රශ්න කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටියේ, තමාට එජාප නායකයා වෙනස් කළ යුතු නැති වුවත් සන්ධාන නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි.