පොලිස් අත්අඩංගුවේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් හදිසියේ මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වනවා.
ඊයේ (24) සවස 6:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුනා.
පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවයි.
කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් නොමැතිව ත්රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් තිබෙනවා.
වැඩිදුරටත් වාර්තා වුයේ අදාළ කාන්තාවට ත්රීරෝද රථය තුළදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බවයි.
එහෙත් ඇයගේ අසනීප තත්ත්වය නොසලකා පොලිස් නිලධාරීන් ඇයව පොලීසිය ආසන්නයටම රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.
ඉන් අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්රයින් දෙදෙනෙකු පොලීසියේ ත්රීරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලීසිය අසලදී පොලිස් නිලධාරීන් ඔවුන්ට ප්රකාශ කර ඇත්තේ මෙම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව රෝහලට රැගෙන යන ලෙසයි.
ඒ අනුව ඥාති පුත්රයින් දෙදෙනා ඇයව තවත් ත්රීරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.