ගම්පොළ ඇල්පිටිය ප්රදේශයේ දින 6ක් පුරා අතුරුදන්වී සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණි.
අප වාර්තාකරු පැවසුවේ දේහය ගොඩගැනීම මේවන විට ආරම්භ කර ඇති බවය.
ගම්පොළ ප්රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් තරුණිය සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අතුරුදන් වුනේ පසුගිය ඉරිදා දිනයේය.
ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.
පසුව ඇය සොයා පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු පසුව පොලීසියට ප්රකාශ කර තිබුනේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහිව වීම හේතුවෙන් තරුණිය අසල කැලෑබද ප්රදේශයට ඇදගෙන ගොස් ඝාතනය කර වළදැමූ බවය.
එම තොරතුර ඔස්සේ පොලීසිය ෆාතිමා වළදැමූ ස්ථානය ඊයේ (12) දිනයේ හඳුනාගත් අතර ඇයගේ දේහය අදාළ ස්ථානයේ තිබී අද පෙරවරුවේ ගොඩ ගැනීමට කටයුතු ආරම්භ කර තිබේ.