විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක ඊයේ (05) දින ප්‍රකාශකර තිබෙනවා.
පසුගිය වසර පහට සාපේක්ෂව පසුගිය මාස කීපයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයෑමට පටන්ගෙන ඇති බවත් රජය වහාම මැදිහත් වී විවෘතව සාකච්ඡා කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතුව ඇති බවත් ඔහු කියා සිටියා.
මෙසේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයෑම වැඩිවීමත්, එසේම රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් නොකිරීමට රජය ගෙන ඇති තීරණයනත් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බලවත් දෙදරීමකට ලක්ව තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 150 ක් පමණ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 100 ක් පමණ පවතින බවත් ඇතැම් විශ්වවිද්‍යාලවල අධ්‍යයනාංශවල අවශ්‍ය දේශන පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආචාර්යවරුන් පිරිසක් නොසිටින බවයි හෙතෙම තවදුරටත් කියා සිටින්නේ.
රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමය නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට 36% පමණ බදු බරක් පැටවී තිබෙනවා.
නමුත් තම වැටුපට ගැලපෙන ලෙස වියදම් කළමනාකරණය කරගෙන තිබුණත් මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා කලින් ගෙවූ බදු මුදල මෙන් තුන් ගුණයක බදු මුදලක් දැරීමට සරසවි ආචාර්යවරුන්ට සිදුව තිබෙනවා.
මේ අනුව ඇතැම් ආචාර්යවරුන්ගේ වැටුප ඝෘණ තත්ත්වයටත් පත්ව තිබෙන අතර රට හැරයෑම හැර වෙනත් විකල්ප නොමැති බවයි සමිති සම්මේලනයේ සභාපති වැඩිදුරටත් කියා සිටින්නේ.