පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ පිපාසය දැනෙනතුරු නොසිට පැයකට වරක් හෝ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ නැවතත් උපදෙස් ලබාදෙයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, මෙම කාලය තුළ පාසල් මට්ටමින් පවත්වන ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගී වන සෑම දරුවෙකුගේම වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවය.
දිස්ත්‍රික්ක රැසකම තවමත් උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතී
බොහෝ දිස්ත්‍රික්කවල වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතින අතර සෞඛ්‍ය අංශ පවසන්නේ මිනිස් සිරුරට ඊට වැඩි උෂ්ණත්වයක් දැනෙන බවය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවය.
මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ වැඩි වශයෙන් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ පසුගිය දින කිහිපය පුරාම ජනතාව දැනුවත් කළේය.
ඒ අනුව පාසල් ළමුන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට හුරුකරවීමේ වැඩසටහනක් ගාල්ල උණවටුන බොනවෙස්ටා පාසලේදී අද සිදුකෙරුණි.
එම පාසලේ ළමුන්ට ජල බෝතල් 2 බැගින් රැගෙන එන ලෙස ගුරුවරුන් උපදෙස් දී ඇති අතර සෑම පැයකටම දෙවරක් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසට මෙහිදී සිසුන් දැනුවත් කළේය.
මේ අතර ඊයේ දවස පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇදහැලුණි.
ඇල්ල වැල්ලවාය ප්‍රදේශයට ඇඳහැලුණු වැසි හමුවේ වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කරදගොල්ල ප්‍රදේශයෙන් ඊයේ සවස විශාල ගසක් කඩා වැටී තිබූ අතර ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණි.
පසුව ඇල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ක ගස මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
මේ අතර නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ද ඊයේ පස්වරුවේ සිට අධික වැසි පතිත වූණි.
වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටී තිබූ අතර ඒ හේතුවෙන් පැය 2ක පමණ කාලයක් මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වුණි.
මේ අතර ඊයේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් සිදුවූ අකුණුසැර පහරකින් බිබිල මැදගම අලංමුල්ල ප්‍රදේශයේ එළදෙනුන් 6 දෙනෙක් හා අසළ කුඹුරක සිටි ගවයෙක් මියගොස් තිබේ.
ඒ අතර ගැබ්බර එළදෙනුන් දෙදෙනෙකුද සිටින බව මියගිය ගවයින්ගේ හිමිකරුවන් පවසයි.
මේ අතර අදත් සවස් කාලයේ සිට දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.