ඇතින්නියන් හත්දෙනාගේ මරණයට හේතුව විෂ ශරීරගතවීමක්

0
16

හබරණ හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණ විෂ ශරීරගත වීමකින් සිදු වූවක් බවට අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් මේ බව අනාවරණය වූ බවයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ.

එම කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඇතින්නියන් මිය යාමට හේතුව හෙට (10) දින ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස ඇතින්නියන්හත් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ උද්‍යාන භාරකරුවෙකුගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල කමිටුව වනජීවි දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වනදා පත් කරනු ලැබුවේය.

අදාල කමිටු වාර්තාව පසුගිය සඳුදා දිනයේ වනජීවි දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර විෂ ශරීරගත වීමකින් එම ඇතින්නියන්ගේ මරණ සිදුවී ඇති බවට එහි දැක්වෙන බව චන්දන සූරියබණ්ඩාරමහතා කියා සිටියේය.

කෙසේ වෙතත් ශරීරගත වූ විෂ වර්ගය කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව වන ජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.