බුද්ධිමත් කියන අය මහ බැංකුව කොල්ලකෑවා-රංජිත්

0
115

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ හොඳ අවංක දේශපාලනඥයෙක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතිකයක් ලබා දී තිබෙන බවත් එතුමාගෙන් එවැනි සහතිකයක් ලබා ගැනීම ඉතාමත්ම දුර්ලභ බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

එමෙන්ම තව සති කිහිපයකින් එක්සත් ජාතික පක්ෂ නායක ‍අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බවද හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ ඉදිකරන ලද රන්දදගම ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතාට අධ්‍යාපනය පිළිබඳ සහ උගත්කම පිළිබඳව විමසන බොහෝ අය පිළිබඳව ජනතාව දන්නා බවත් බුද්ධිමත් කියන අය මහ බැංකුව කොල්ලකෑ බවද හෙතෙම චෝදනා කළේය.

ඒ අයගේ ක්‍රියා කලාපයන් දුටුවිට සජිත් ප්‍රේමදාස යන අය කවුරුන්ද යන්න ජනතාව දන්නා බවද රංජිත් අලුවිහාරේ මහතා මෙහිදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවට පත් කිරීම සඳහා තමාගේ පියා වන ඇලික් අලුවිහාරේ මහතා යෝජනා කළ බවත් තමන්ද ඒ පිටුපස හිට ගන්නා බවද කීවේය.

පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයෙක් ලෙස සරත් පොන්සේකා මහතා නම් කොට පරාජය වූ බවත් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමත් සමඟ පක්ෂය ඇතුලේ අර්බුද හට ගත් බවද පෙන්වා දුන්නේය.

එමනිසා මන්ත්‍රී මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුවත් කොට ඇතැයි හෙතෙම අවධාරණය කළේය.